Friday, August 27, 2010

පව්කාරයෝ - 1.1:- නොතලන් මල් කැකුළු - ළමා ලිංගික අපයෝජන.


උදෑසන පිනි බිඳු විසිරී තිබුනු මල් කැකුළක්........ ලෝකයට විකසිතවී මඳ පවනට නැලැවෙමින් සුවඳ විහිදුවීමට පෙරුම් පුරමින් සිටි මල් කැකුළක්........ තලා පොඩි කිරීමට මාන බලමින් සිටි පව්කාරයෙකු අතින් විකසිත වීමට ඉඩ නොදී තලා පොඩිකර විනාස කර දැම්මා...... 

මේ මල් කැකුළට අත්වූ ඉරණම වර්තමානය වනවිට අප දේශය අනාගතයේ භාර ගැනීමට පෙරුම් පුරමින් සිටින සිඟිති පැටවුන්ට, ගැටවරයන්ට මා මේ සටහන ලියන මොහොතත්, ඔබ මේ සටහන කියවන මොහොතේත් කවර ආකාරයකින් හෝ සිදු වන බව ඔබ දන්නවාද?..... ආදරණීය අම්මේ තාත්තේ, මා මින් ඉදිරියට ලියන සටහන් ඔබ වෙනුවෙනි. අද දින අපගේ මල් කැකුළුවන් දරු පැටවුන් රැක ගත් විට, හෙට දින, ඔවුන්ගෙන් පසු විකසිත වන අපේ පැටවුන්ට මේ ලෝකය අද දිනට වඩා සොඳුරු ලෝකයක් වනු නිසැකය. ඉතින් ඒ සඳහා අපි මේ මොහොතේ සිට පෙළ ගැසෙමු. සටහන ඇරඹීමට අවසරයි............

මිනිසා, මනස අනෙකුත් සතුනට සාපේක්ෂව උසස් ලෙස තම චින්තනය තුල, මුල් බැසගෙන පවතින නිසා මෙනමින් හඳුන්වනු ලබයි. අනිකුත් ජීවීන්ට රාගය යනු බොහෝ විට තම වර්ගයා බෝ කර ගැනීම සඳහා සොබාදම් මෑණින් විසින් දායාද කරන ලද්දකි. ඔවුන්ගේ ලිංගික එක්වීම එතැනින් නිමවේ. 
නමුත් මිනිසා....... බොහෝවිට උඩු සිත මඟින් සන්සුන් ස්වභාවයක් පෙන්වූවද යටි සිත මඟින් දැඩි ලිංගික කැළඹීම් සහිතව තම උඩු සිත ඉතාමත් අසීරුවෙන් පාලනය කරගෙන සිටී. නමුත් සමහර අවස්ථාවන්හිදී එය එසේ නොවේ. කවරෙකු කවර ආකාරයකින් කවර ලිංගික සම්බන්ධයක් පැවැත්වුවත් එය මා මෙහිදී අවධානයට ලක් කරන්නේ නැත. පරිණාමිකව අනික් සතුන්ට වඩා දියුණු යැයි කියා ගන්නා මිනිසා විටෙක තම දරුවන් සමඟ පවා ලිංගික සම්බන්ධතා පවත්වයි. සැබැවින්ම මෙවැනි අවස්ථාවන්හිදී මිනිසා අන් ජීවීන්ට වඩා පරිණාමයක් නොව අවපරිණාමයක් වී පවතින බව විමසිය යුතු කරුණකි.

ආරම්භය......
ළමා ලිංගික අපයෝජනය... ඔබ බොහෝ දෙනෙකුගේ දෙනෙත් තෙත් කරන, ඇතැම් විට දැඩි කම්පනයට පත්වන මාතෘකාවකි. බොහෝවිට නූතන සමාජය තුල මෙවැනි මාතෘකාවක් සාකච්ඡා කිරීම පවා අසීරුය. සත්‍යය මෙයයි.
මෙය කවර මොහොතක, කවර ස්වරූපයෙන් සිදු වේදැයි කිසිවෙකුටවත් ස්ථිර අදහසක් ගත නොහැකිය. අප රට සම්බන්ධව කතා කරොත් දිනපතා සිදුවන මෙම පව්කාර ක්‍රියාවන් සමස්තයක් ලෙස ගත් කල 80%කටත් වඩා සමාජයෙන් වසන්වේ.
මෙම ක්‍රියාව සඳහා නිශ්චිත ස්ථානයක් නොමැත. විටෙක එය මහමඟදීද, විටෙක පාසලේදීද, විටෙක ක්‍රීඩාගාරයකදීද, විටෙක ඔබේ නිවසේ රහසිගතවද, විටෙක ඔබ ඉදිරියේ දරුවාට ආදරය කරන මුවාවෙන් වෙනත් පව්කාරයෙකු අතින්ද මෙම පව්කාර ක්‍රියාව සිදු විය හැකිය.
එමෙන්ම ඔබේ දරුවාගේ වයස අවුරුදු 12-16 අතරනම් වහාම ඔබේ දරුවා මෙම කාමාතුරයන්ගේ ඇස් වලින් ආරක්ෂා කර ගැනීමට මේ මොහොතේ පටන්ම ක්‍රියා කරන්න. අප රට තුල වැඩි වශයෙන්ම ලිංගික අපරාධ සඳහා ගොදුරු වන්නේ මෙම වයසේ ළමුන්ය, ගැටවර ගැටවරියන්ය. එමෙන්ම දුප්පත් පන්තිය තුල මෙම අපරාධ වැඩිපුරම සිදුවේ.


ලිංගික අපරාධ ඇති වීමට හේතු
1:- දෙමාපිය දූ දරු සම්බන්ධය නොමැතිවීම - වර්තමානය වනවිට පවතින දැඩි ආර්ථික ගැටළු නිසා බොහෝ දෙමව්පියන් මුදල් පසු පස හඹා යාමට පුරුදුවී සිටිති. එවිට ඔවුන්ට දරුවන්ගේ ලෝකය පිළිබඳව එතරම් හැඟීමක් නැත. දරුවා ගොදුරුකොට ගැනීමට මාන බලමින් සිටින අධම පව්කාරයින්ට මෙය මහත් අස්වැසිල්ලකි. ඔවුන් වහා ක්‍රියාත්මක වෙති. මේහා සම්බන්ධව පවතින තවත් කරුණු දෙකක් වන්නේ මව එතෙර රැකියාවට යෑම සහ පියාගේ බීමත්කමයි. මත්ද්‍රව්‍යද මෙවැනි ක්‍රියාවන් සඳහා මැනැවින් රුකුල් වේ. දැන් මෙම උදාහරණ බලන්න. මව විදේශගත වූ අවස්ථාවකදී බීමතින් පැමිනි අධම පියෙක් විසින් තම දියණිය දූෂණය කලේ, "අනේ බොල තෝ මෙච්චර ලස්සන බව මම දන්නේ නෑ" යැයි කියමිනි. පසු කලෙක මෙම දියණියට දරුවෙක්ද ලැබුනි.
එමෙන්ම බීමත්කමට ඇබ්බැහිවූ තවත් පව්කාරයෙකු මුදල් ලබා ගැනීමට තම දියණියන් දෙදෙනා විකුණමින් සිටියේය. එමන්ම එම ජඩයා විසින් ඔවුන් දූෂණය කලේ "මම වදාපු ගහේ ගෙඩි මම අනුභව කලාට මොන වරදද" යැයි කියමිනි. ජුගුස්සාජනක වුවත් යතාර්ථය එයයි.
2:- නූතන මාධ්‍යමය පෙළඹවීම් - මේ ගැන වැඩි විස්තරයක් කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි. මක්නිසාද යත් ඔබ නරබන ඇතැම් රූපවාහිනී නාලිකා මගින් මෙය ඔබටම දිස්වන නිසාය. චින්ති වැනි ජාතියේ පවට පහලවූ අධමයෙකුගේ ගීත බැලීමෙන් අප දරු පරම්පරාව මේ තරමින්හෝ බේරී සිටීම සම්බන්ධව සැබැවින්ම ඔබ සතුටු විය යුතුය. එමෙන්ම අපගේ වාසනාවට තහනම් කරන ලද "අක්ෂරය" නම් සමාජ පිළිකාව තුල පවතින මවකගේ සහ පුතෙකුගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම සමාජගත වූවානම් වර්තමාන තත්වය ඉතාමත් භයානක වීමට ඉඩ තිබුනි. මව සමඟ සංවාසයේ යෙදෙන නින්දිත පුතුන් වර්තමානයේ අප රට තුලද සිටී. සත්‍යය මෙයයි. එවැනි මවකට හා පුතෙකුට වෙඩි තබා ඝාතනය කල පසු උමතුවූ පියෙකු මා සැබැවින්ම දැක තිබේ. ඔබ පිළි ගැනීමට අකමැති වුවත් සැබෑ වාතාවරණය එයයි.
3:- නිල් චිත්‍රපටි, සඟරා, අන්තර්ජාලය - මේවා සියල්ලන්ගෙන්ම සිදු කරනු ලබන්නේ ලිංගික පෙළඹවීම් ඇති කිරීමයි.


මේවා වසන් කරන්නේ ඇයි?
බොහෝවිට මෙම අපරාධ සිදු වන්නේ නිවස හෝ ඊට ආසන්න තමන් දන්නා හඳුනන ස්ථානයකය. මෙම අපරාධය අවාට සමාජය දැන ගැනීමෙන් තමන්ට විශාල අවමානයක් සිදුවනු ඇතැයි දෙමව්පියන් සිතන අතර එනිසා බොහෝදුරට මෙය වසන්වේ. එමෙන්ම අපරාධය සිදුකල තැනැත්තාගේ බලය නිසාද මෙය සිදුවිය හැකියි. 


මෙම පවුල්වල ලක්ෂණ:-
මේවා බොහෝවිට සිදු වන්නේ පන්ති වශයෙන් ගත් කල දුගී සහ ඉහළ පන්තියේ දරුවන්ටය. මධ්‍යම පාන්තිකයන්ගේ පවුල් අතර මෙවැනි සිදුවීම් සාපේක්ෂව අඩුය. ඉහත සඳහන් පන්ති 2 අතරිනුත් දුගී පන්තිය තුල මෙවැනි අපරාධ බහුලවම සිදුවේ. දැන් ඒ එක් එක් පන්තියට අදාලව මෙම කරුණ විමසා බලමු.
1. දුගී පන්තිය:- බොහෝවිට වතුකර ජනතා දරුවන් අතර මෙවැනි චර්යාවන් බහුලව සිදුවේ. ඉතාමත් කුඩා වයස්වල දරුවන් පවා වතුවල දුම් බිබී සිටිනු දැකිය හැකිය. එමෙන්ම මොවුන්ගේ දෙමව්පියන් මොවුන් පිළිබඳව සොයා බලනවාත් අඩුය. බොහෝවිට කිසිදු ආකාරයක ආගමික නැඹුරුවක් මොවුන් තුල දක්නට නොලැබේ.
2. ධනවත් පන්තිය:- අපරිමිත ලෙස දරුවන්ට නිදහස ලබා දී තිබේ. දරුවන් සිටින්නේ කා සමඟද, ඔවුන්ගේ ක්‍රියාවන් මොනවාද යන්න දෙමව්පියන් එක්කෝ සොයා බලන්නේ නැත. එක්කෝ ගනන් ගන්නේ නැත. 
මෙම පන්ති 2 තුල මෙවැනි අපරාධ බහුලව සිදුවේ. නමුත් ගුරුවරුන්, රාජ්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන් ආදීන් සිටින මධ්‍යම පන්තිය තුල සාපේක්ෂව අඩුවෙන් සිදුවේ. දරුවන් කුඩා කල සිට හොඳින් හික්මවීම, පියා ලඟ නොමැති වුවත් මව් නිතරම දරුවන් ගැන සොයා බැලීම යනාදී හේතූන් මතද, සාපේක්ෂව දෙමව්පියන්ට මෙවැනි ක්‍රියා සම්බන්ධව තරමක අවබෝධයක් පවතින නිසාද මෙසේ සිදුවේ.


මෙම අපරාධවලට ගොදුරු වීම සඳහා දරුවන් තුල බලපාන සාධක:-
යෞවනෝදයත් සමඟම සියළුම දරුවන් තුල හෝමෝන ක්‍රියාකාරී වීම නිසා නව ජීවන පෙරළියක් ඇතිවේ. එවිට ඔවුන් තුල ඇතිවන හැඟීම් නිසා,
පෙර මාපිය රැකවරණ යටතේ හැදී වැඩුනු නමුත් පසුව ස්වාධීන නිදහස බලාපොරොත්තුවේ. එවිට නිරන්තරයෙන් දෙමව්පියන් සමඟ ගැටුම් ඇතිකර ගනී. බොහෝවිට "අම්මාට තාත්තාට තියෙන්නේ හණමිටි අදහස්" යැයි පවසන්නේ මෙම කාලයේදීය. මෙසේ නව චින්තනයකින් යුතු ගැටවරයින් බිලි ගැනීමට රුදුරු බලවේග තිබෙන බව ඔවුන් නොදනී. දෙමව්පියන් මේ බව පහදා දුන්නත් නිරන්තරයෙන් "නාහෙට නාහන" පිරිසක් නිසා ඔවුන් එක පයින් තම දෙමාපිය අදහස් ඉවතලති.
එමෙන්ම දරුවාගේ මුල් කාලීන ඇතිවන ලිංගික හැඟීම ඔවුන්ට අමුත්තකි. ඒ පිළිබඳව ඇත්තේ බලවත් කුතුහලයකි. නිල් චිත්‍රපටි, සඟරා ආදිය ඔවුන් අතට මෙම කාලයේදී ලැබුනොත් තත්වය තවත් භයානකය. දරුවා ගැහැනු හෝ පිරිමි පාසලක සිටීනම් මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් පවතින දරුවන් එක්වී සමලිංගික සේවනයට ඇබ්බැහිවේ. අන් අයගේ අවයව දැක ගැනීමේ බලවත් කුතුහලයකින් දරුවා මෙම කාලයේදී පෙළේ. එමෙන්ම මිශ්‍ර පාසල් වලනම් විෂම ලිංගික සේවනයට පවා යොමු විය හැකිය. බොහෝවිට දරුවා වහා ලිංගික ක්‍රියාවන් සඳහා පෙළඹීම නිසා මෙවන් තත්වයන් ඇතිවේ. 


දරුවා ආකර්ෂණය වීම
මෙම ක්‍රියාවන් සිදු කරන්නේ කවුරුන් කවර අවස්ථාවකදීද යන්න අපට නිවැරදිව හඳුනා ගත නොහැකිය. විටෙක ඒ දරුවා ඉතා ආදරය කරන ඔහුගේ ජීවිතයේ වීරයෙකු බඳු චරිතයක් විය හැකිය. එමෙන්ම ඒ ඔහුගේ ඥාති සොයුරෙකු හෝ සොයුරියක විය හැකිය. තවත් විටෙක දරුවාහට තෑගි බෝග දී ඔහුව රවට්ටා ගන්නා අයෙක් විය හැකිය. ඒ නිසා මෙසේ දරුවන් ආකර්ෂණය වීම කෙරෙහි පහත කරුණු ගත හැක.
1. පුද්ගලයා දරුවා ඉතා ගරු කරන අයෙකු නිසා ඔහුට එම ක්‍රියාව සඳහා ඉඩ දී බලා සිටීම.  ඔහුට ආදරය කරන නිසාද මෙසේ සිදු කරයි.
2. ඥාතීන් මෙවැන්නක් සිදු කල විට ඔවුන් "තරහ" වේ යැයි බියෙන් නැවත නැවතත් මේ සඳහා ඉඩ දීම.
3. ඔහුගෙන් තෑගි බෝග ලැබේනම් ඒවාට ඇති ආශාව නිසා ඉඩදී බලා සිටීම.
4. මෙසේ වරක් අපයෝජනය වූ විට නැවත නැවතත් එම ක්‍රියාව සඳහා සිත ඇදී යාම. එවැන්නක් පාලනය කර ගැනීමට පවා අසීරු වීම.


ළමා අපයෝජකයන් බිහිවීමට හේතුව:-
මේ සඳහා බලපානු ලබන හේතූන් විශාල ප්‍රමාණයක් තිබෙන නමුත් මූලික වශයෙන් හඳුනාගත හැකි හේතූන් වන්නේ,
1. යහපත් ළමාවියක් නොලැබීම:- මෙම අපයෝජකයින් බොහෝ දෙනෙකුගේ ළමා කාලය ඉතා කටුකවූ එකකි. සමාජ අසාධාරනය අධිකව සිදුවන පරිසරයක කුඩා කල සිට වැඩෙන අයෙකු ලිංගික අපචාර සඳහා යොමු වීමට අති ඉඩ කඩ සාපේක්ෂව වැඩිය. කුඩා කල මෙවැනි අපරාධයකට ගොදුරුවූ අයෙකු වැඩිහිටියෙකු වූ පසුද මෙවැනි ක්‍රියාවන් සඳහා නිරායාසයෙන් පෙළඹේ. එය පසු පරාම්පරා අතර පිළිකාවක් සේ පැතිරී යයි.
2. නිදහස සීමා වීම:- කුඩා කල සිට අනවශ්‍ය නීති පද්ධතියක් මඟින් ආවරණය වන දරුවෙකු තුල නිරන්තරයෙන් තම ලිංගික හැඟීම් පිට කර ගත නොහැකිව එය එක්වරම සාමාන්‍ය අවස්ථාවන්ට වඩා ප්‍රචණ්ඩව එය පිට කිරීමට උත්සාහ දරයි. එමෙන්ම දරුවා ස්වයං වින්දනයේ යෙදෙනවා දකින දෙමව්පියන් දරුවාට දොස් පැවරීමෙන්ද දරුවා තවත් අසරණ විය හැකිය. එනිසා දරුවා ගණිකා ඇසුර වැනි ක්‍රියාවකින් පටන්ගෙන පසු කාලීනව ළමා අපයෝජන වලට පවා පෙළඹිය හැකිය.
3. දෙමව්පියන්ගේ පෞරුෂත්වයෙහි පවතින දුර්වලතා:- උදාහරණ ලෙස මව පුරුෂ ලක්ෂණ වැඩියෙන් හෝ පියා ස්ත්‍රී ලක්ෂණ වැඩියෙන් දැරුවහොත් එවැනි දරුවන් සමලිංගික සේවනයට යොමු වීමට ඇති ඉඩ වැඩිය. මෙය පසු කාලීනව ළමා අපචාර දක්වා පැතිරේ.
4. අවිවාහක බව.
5. මානසික පීඩනය.
6. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.


අපයෝජකයන් හඳුනා ගන්නේ කෙසේද?
මෙය දෙස විවෘත මනසකින් බැලිය යුතුයි. කිසි විටෙක මෙම පුද්ගලයා ළමා අපයෝජකයෙක් නොවේ යැයි කිසිවෙකුටත් කිව නොහැකිය. මොවුන්,
1. සාමාන්‍යාකාරයෙන් හැසිරෙන්නන් විය හැකිය.
2. දරුවන් නුරුස්සන අය විය හැකිය.
3. දරුවන්ට දැඩි ආදරයක් මිත්‍රශීලීභාවයක් දක්වන්නන් විය හැකිය.
4. දරුවන් වෙනුවෙන් හදවත උණු වන බව පවසා බොරු රඟපෑම් කරන්නන් විය හැකිය.
5. ළමා අපයෝජනයන්ට තදින්ම විරුද්ධ අය විය හැකිය.
මේ කවර ආකාරයකින් පැමිනියත් අපරාධකරුවාගේ අභ්‍යන්තරය පහසුවෙන් කිසිවෙකුට හඳුනා ගත නොහැකිය. මිනිසා තුල දෙවියා සහ අමනුෂ්‍යයා සැඟවී සිටී.


අපයෝජකයන්ගේ අපයෝජනයෙන් පසු ලක්ෂණ:-
1. කිසිදු වෙනසක් නොකර සාමාන්ය පරිදි කටයුතු කරයි.
2. ප්‍රදේශයෙන් පලා යයි.
3. දරුවා දකින විට මඟ හරී.
4. අපයෝජකයා සෙවීමට අන් අයට වඩා අනවශ්ය උත්සාහයක් ගන්නා බව පෙන්වයි.

ළමා අපයෝජන සම්බන්ධව බලපානු ලබන නීතිය:-
1989 ළමා අයිතිවාසිකම් ප්‍රඥපත්තියට ළමා අපයෝජන සිදු කිරීම වරදක් ලෙස ඇතුලත් කල අතර මේ සඳහා අදාල වන්නේ,
1. ලිංගික කටයුතු වලට බලෙන් හෝ කැමැත්තෙන් යොදා ගැනීම.
2. ලිංගික කටයුතු වලට පෙළඹවීම, පෙළඹෙන ලෙස, කැමැත්ත ඇති වන ලෙස ස්පර්ශ කිරීම, සිප වැළඳ ගැනීම, ශරීරය පිරි මැදීම, අසභ්‍ය සඟරා හෝ චිත්‍රපටි නැරඹීමට සැලැස්වීම, නිරුවත දරුවන්ට පෙන්වීම, ස්පර්ශ කිරීමට ඉඩ හැරීම හෝ දරුවාට පෙනෙන ලෙස ලිංගික ක්‍රියාවන්හි නිරත වීම.
මෙම වැරදි වලට ඒ ඒ ආකාරයෙන් දඬුවම් දීම සිදු කරනු ලැබේ.

මෙහි මුල් කොටසින් මා ගෙන හැර දැක්වූයේ ළමා ලිංගික අපයෝජනයේ මූලිකාංගයි. මෙහි දෙවන කොටසේදී ළමා ගණිකා ව්‍යාපාරය පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්ටු වෙමි.
(ආශ්‍රිත සටහන්:- මහාචාර්ය නන්දසේන රත්නපාල, ක්‍රිශාන්ත් කුරේ.)

Wednesday, August 25, 2010

පව්කාරයෝ - පිවිසුමක්........ -අමල්ගේ කතාව

දරුවන් අහිංසකය. ඉපදුනු මොහොතේ කුඩා කිරි කැටියෙකු ලෝකය සම්බන්ධව කිසිවක් නොදනී. ක්‍රමයෙන් වැඩෙත්ම ඔවුන් යන්තමින් සමාජය ස්පර්ශ කරමින් තම අනුගාමිකයන් අනුව මූලික අවධියේ අනුකරණයෙන්ද, පසුව ස්වකීය අනන්‍ය වූ චින්තනයකින්ද යුතුව ජීවන ගමන අරඹති. කිසිදු අවස්ථාවක දරු පැටවෙකු ඉපදුනු මොහොතේ ඔහුගේ ඉරණම තීරණය කරන්නේ නැත. බොහෝ අවස්ථාවන්හිදී එම දරු පැටවාගේ අනාගත භූමිකාව තීරණය කරනු ලබන බලවේගයක් පවතී. එම බලවේගය වන්නේ අප සමාජයයි. දරු පැටවා අනාගතයේ දක්ෂ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, විද්‍යාඥයෙකු බවට පත් කරන්නේද, දරුණු මිනීමරුවෙකු, අපරාධකරුවෙකු මෙන්ම ස්ත්‍රී දූෂකයෙකු වැනි සමාජයට බරක් වන චරිත බවට පත්කරන්නේද සමාජයයි. එමෙන්ම යම් කම්පනයකට භාජනය කර එම පැටවුන්ගේ අනාගතය මුළුමනින්ම විනාස කරනු ලබන්නේද සමාජයයි.
<span> </span>පහත දැක්වෙන්නේ මනකල්පිත කතාවකි. එමෙන්ම මෙය සිදුවීම් බොහොමයක් අලලා මවිසින් එක් සිද්ධියක් ලෙස දක්වා ඇත. මෙහි බොහෝ සිදුවීම් සත්ය ඒවාවේ.

"අමා...........ල්! උඹ කොහෙද ඉන්නෙ?"
මෙපමණ වෙලා කල්පනා සයුරේ ගිලෙමින් සිටි අමල්ට නෝන හාමුගේ හඬ ඇසුනේම නැත. කොස්සක් අතේ තබාගෙන මන්දිරයේ ඉස්තෝප්පුවට වී සිටි අමල්ගේ කල්පනා ලෝකය නෝනහාමුගේ "කාරුණික වචන" හමුවේ සුනුවිසුණුවී ගියේය.
"මේ එනවා මැඩම්"
"කොහෙද යකෝ උඹ මෙච්චර වෙලා හිටියෙ?"
"ඉස්තෝප්පුව අතු ගෑවා මැඩම්"
"දැන් පැයක් විතර තෝ ඒකද කරන්නේ?" එවර හාමු ඇසුවේ අමල්ගේ කම්මුල මත වේගයෙන් තම ගොරහැඩි අත පහත් කරමිනි.
අමල්ගේ දෙතොලග පිපිරී ලේ බිඳු කිහිපයක රස යන්තමින් ඔහුට දැනුනි. නිතරම මෙවැනි පීඩාවන්ට මුහුණදී සිටි එකොලොස් හැවිරිදි අමල්ට එහි අමුත්තක් නොවීය. නමුත් දරාගත නොහැකි වේදනාවෙන් කුඩා කඳුළු වැලක් දෙකොපුළින් ගලා ගියේය.
"ඔතන උලමෙක් වගේ ඉන්නෙ නැතිව ටොයිලට් එක හෝදලා බල්ලගෙ කූඩුව අතුගාපන්!"
ලැබුනු අණ වහා ක්‍රියාත්මක කල යුතුය. නැත්නම් මීටත් වඩා හිරිහැර ලැබේ.

අමල් පාසලට ආයුබෝවන් කීවේ මීට වසරකට පෙරය. පහේ පන්තියේ විභාගයට ඉඳලා ආ බව මතක තිබේ. ඒකෙන් හොඳට සමත්වූ බව කියා ඉස්කෝකෙ මහත්තයා ලියුමක් එව්වත් බාප්පා එතනින්ම අමල්ගේ ඉස්කෝලෙ ගමන නැවැත්වීය. බාප්පාට ඕනෑ වූයේ සල්ලි. හැමදාම කොහෙටදෝ ගිහින් මොනවදෝ බීලා ඇවිල්ලා අමල්ටයි, අම්මටයි, අක්කටයි හරියට ගහන එක බාප්පාගෙ අනිවාර්ය දෙයක්. ඔය අතරෙ තමයි ලොකු මහත්තයෙක්ගෙ ගෙදරකට වැඩට ළමයෙක් ඕනි කියලා ආරංචි වෙලා අමල්ව එතන නැවැත්තුවේ. පොඩි කාලෙම බාප්පා අක්කව අමල්ට නොපෙනෙන්න වෙන කාමරේකට ඇදගෙන යන අයුරුත් ඊට පස්සෙ අක්කා විලාප දෙනවා අමල්ට තාම මතක තිබේ.

මන්දිර ගෙදර ජීවිතය ඊටත් වඩා අමල්ට දරුණු විය. ගිනිපෙළෙල්ලෙන් පිළිස්සීම, සිහි නැති වන තුරු හිස බිත්තියේ ඇනීම, වේවැලෙන් පහර දීම වගේ වේදනා මඟින් අමල්ගේ ජීවිතයට අඩුවක්නම් නොවීය.
එමෙන්ම දිනක් උත්සවයකදී මහත්තයාගේ මිත්‍රයෙක් කරපු දේ මතක් වෙත්ම අමල්ගේ ඇඟ කිළිපොළා ගියේය. මත් වතුරින් මත්වෙලා සිටි ඒ නරුම මිනිසා අමල්ව බලෙන් ඇදගෙන ජීප් එකක දමාගෙන අඳුරු කාමරයකට ගිය හැටිත් ඊට පස්සේ....... ඒ නරුමයා තම පව්කාර දෙතොල් වලින් අමල්ගේ ළපටි දෙතොල්, අමල්ගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කල සැටිත්, ඒ පව්කාරයා අමල් කෑගසන අතරේ අමල්ට කියා ඒ නරුමයාගේත් එසේ කරගත් ඒ මූසල අත්දැකීම මතක් වෙත්ම අමල් සිහිනයෙන් බයවී කෑගසයි. එවිට දිව එන හාමුගෙන්නම් අමල්ට අඩුවක් නැතිව වේවැල් පාර ලැබේ.

තවත් මසක් ගෙවී ගියේය. එදින බාප්පා නිවසට ආවේ අවුරුද්ද සඳහා අමල්ව සතියකට ගෙදර ගෙන යෑමටයි.
"කොල්ල හරි මුරණ්ඩුයිනෙ ඩේවිඩ්. දැන් ඉතින් මූව ගන්න එකත් හිතලා බලන්න ඕනි."
එවිටම ඩේවිඩ්ගෙන් අමල්ට ලැබුනේ වේගවත් කම්මුල් පහරකි.
"ඇත්ත කියපන්. තෝ මොකද මෙහෙ කරේ? තොට ආයෙත් මෙහෙ ඉන්න බැරිද?"
බාප්පාගේ ගොරහැඩි අතට බයවූ අමල්,
"අනේ මම ඉන්නම් බාප්පේ. ගහන්න එපා." අමල්ගේ ඇස්වල කඳුළු තිබුනි.
"අනේ මැඩම් මේකා මීට පස්සෙ හොඳට ඉඳීවි."
"එහෙනම් කමක් නෑ. තව ටිකක් බලමුකෝ......"

එදින නම් අමල් අම්මාගෙ තුරුලේ සුව නින්දක් ලැබුවේය. අක්කා? අක්කා දන් නිදා ගන්නෙ බාප්පා එක්ක. කුඩා වුනත් මේ දේ තේරුම් ගැනීමට අමල්ට හැකියාවක් තිබුනි. අක්කා ගෙනියන්න දවල්ට ලොකු වාහන වලින් මහත්තුරු එනවා. ඒත් අක්කට තවම අවුරුදු 15යිනේ. අක්ක මොනවද කරන්නෙ..... අමල් කුඩා කල අසා තිබූ ලෝකයේ නරකම රස්සාව මතක් විය. ගණිකාවෝ..... අක්කා ගණිකාවක් බව අමල්ට තේරුම් ගියේය.
පහුවදා ඉර වැටුනි. අමල් සෙමින් සෙමින් අම්මා ලඟට කිට්ටු විය.
"අම්මේ......."
"ඇයි මයෙ පුතේ?"
"මට ආය බංගලාවෙ යන්න බෑ අම්මෙ........"
අම්මා අමල් දෙස බැලීය.
"නෝන හාමු මට හරියට වද දෙනවා අම්මෙ. මේ බලන්නකෝ....." අමල් තම කමිසය ගලවා අම්මාට පෙන්වීය.
සංවේදී හදවතක් ඇති කෙනෙකුට බැලිය හැකි දෙයක් නොවෙයි ඒ.... පිට පුරාම කෝටු පාරවල්. සමහර තැන්වල පුළුස්සලා. අම්මා ක්ලාන්ත නොවී බේරුනේ දැඩි අසීරුවෙනි. ඒ මොහොතේ වයලට් අම්මාට කල හැකි වූයේ තම පුතු තුරුළු කරගෙන මහමෙර පවා සෙලවෙන ලෙස හැඬීම පමනි.
පහුවදා අම්මා බාප්පා එක්ක රණ්ඩු වූයේ මේ හේතුවටය.
"අමා......ල්! මෙහෙ වරෙන්."
"ඇයි උඹ ආපහු යන්න බෑ කියන්නෙ?"
"නෝනා මට හරියට ගහනවා බාප්පෙ. අනේ ආය මට යන්න බෑ. මාව යවන්න එපා බාප්පෙ....." අමල් ඩේවිඩ්ගේ දෙපා අල්ලා ගනිමින් කියු දෙයට කන් දීමට තරම් මනුෂ්‍යත්වයක් එම නරුම මිනිසාට නොවීය.
වහා එල්ලවූ පා පහරින් අමල් විසිවී වැටුනි. ඩේවිඩ් පහර දීගෙන ගියේය. වහා දිව ආ වයලට්,
"තෝ මයෙ කොල්ල මරනවානම් ඊට කලින් මාව මරාපිය."
ඩේවිඩ් අමල් අත හැර වයලට්ගේ ගෙල මිරිකන්නට වූයේ යම් කිසි උමතුවකින් මෙනි. අමල්ට කල හැකි දෙයක් නොවීය. නමුත් අසල ඇති කඩුව ඔහු දුටුවේය. එය රැගෙන ගොස් ඩේවිඩ්ගේ ගෙල හරහා දුන්නේ එක් පහරකි. කිසිදු කතාවක් නොමැතිව ඩේවිඩ්ගේ හිස කඳින් වෙන් වුනි. වයලට්ට සිහි නැති විය.

සියල්ල වෙනස් වන්නට වූයේ එතැන් සිටය. අමල් වසර 10ක් සඳහා පරිවාසගත විය. උපතින්ම දඟකාර ආකර්ශනීය පෙනුමක් තිබූ නිසා එහිදීත් අමල්ට සිදුවූයේ කාගේත් ඇඟේ හිරි ඇර ගැනීම සඳහා තම ළමාවිය බිළිදීමටය. කල් යත්ම අමල්ද ක්‍රමයෙන් ඒවාට අනුගත විය. පරිවාස කාලය නිම වෙත්ම අමල්ට මෙවැනි ආශ්‍රයන් නොමැතිව එක් දිනයක් හෝ සිටිය නොහැකි විය.

 අමල් පරිවාසය නිමවී නැවත ගෙදර පැමිනියේ දස වසරකින් නුදුටු අම්මා දැක ගැනීමටයි. තමා බැලීමට අම්මා කිසි දින නොපැමිනීම අමල්ට මහත් දුකක් විය.

 පිට කොටුවේ සිටි උමතු ගැහැණිය දුටු අමල් ඈ මින් පෙර කොහේදී හෝ දැක තිබෙන බවට මතක් විය. 
ඇයි මේ අම්මා නොවේද? අමල්ගේ අම්මා....... දැන් උමතු ගැහැණියක් වෙලා......... 
අමල් සෙමින් ඇය අසලට සමීප විය........
"අම්මේ......... මගෙ අම්මේ............."
වියරු ගැහැනිය අමල් දෙස රවා බැලීය. ඈ උමතුවෙන් අමල් වෙත කඩා පැන්නීය.
"මෙන්න මිනී මරණවා. මූ මිණී මරණවෝ............" ඈ යටි ගිරියෙන් විලාප දෙන්නට විය..........
කොතෙක් පහදා දුන්නද අමල්ට ඈ ගෙන යෑමනම් කල හැකි දෙයක් නොවීය.

අමල් ගෙදර ගොස් බැලූ විට දැන ගැනීමට ලැබුනේ දැන් එය ප්‍රධාන ගණිකා මධ්‍යස්ථානයක් බවයි. අමල්ගේ අක්කා ප්‍රදේශයේ නම ගිය ගණිකාවක්වී සිටියාය. කුඩා කල සිටම "අවජාතක" යන නමින් කුප්‍රකට පවුලක් වූ එහි එවැනි වාතාවරණයක් නිර්මාණය නොවී තිබුනේ නම් මුඩුක්කු පරිසරයෙහි එය මහත් මවිතයට කරුණක් විය.

එක්වරම ඩේවිඩ්ගේ ගෝලබාලයන් කිහිප දෙනෙකු විසින් අමල් වට කර ගත්හ.
ඔවුන්ගෙන් එකෙකු අමල්ගේ කම්මුල හරහා වේගවත් පහරක් එල්ල කොට පැවසූයේ, 
"ආ..... ලොක්කා...... නැට්ටට කිරි උරන්නත් කලින් උඹ පොරක් වුනා ඈ.......... ඩේවිඩ් අයියා මරපු එකට අද උඹව කම්බස් කරනවා.........."
සමාජමය පීඩනයෙන් මේ වන විටත් අමල් හොඳින් පදම් වී සිටියේය. එ නිසා තමාට පහරක් එල්ල කල තැනැත්තාට මරු පහරක් එල්ල කිරීම ඔහුට අසීරු නොවීය.
ඒ සමඟම අනික් ගෝලයන් අමල් වට කර ගත්තත් ඔවුන්ගෙන් බේරී ඔහු කෙසේ හෝ පැන ගැනීමට සමත් විය. නමුත් නීතියෙන් පැන යෑම කල නොහැකි විය.

කටුක අත්දැකීම් වලට මුහුණ දීමටම උපන් අමල්ට සිපිරිගෙය අමුත්තක් නොවීය. එමෙන්ම එක් අතකට මෙය ඔහුගේ නව ජීවිතයකට මුල් පිරීමක්ද විය. ඩේවිඩ්ගේ ගෝලබාලයන්ගෙන් ආරක්ෂා වීමට අන් මඟක් ඔහුට නොවීය. එනිසා ඔහුගේ තේරීම වූයේ පාතාල ලෝකයයි............
සිපිරි ගෙදර තුල හමුවූ පොට්ට රංජි, කුඩු සමන්, වත්තේගම සුද්දා ආදී පාතාල සාමාජිකයින්ගෙන් අමල් මත්ද්‍රව්‍ය, අවි ආයුධ, මංකොල්ලකෑම්, මිනී මැරුම් ආදිය පිළිබඳ හොඳින් උගත්තේය. නමුත් බන්ධනාගාරය තුලදී යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා ඉක්මනින්ම ඔවුන්ට නිදහස ලැබුනි.

ඇතුලේ සිටියදීත් කලින් පුරුදු වූ සමලිංගික ක්‍රියාවන් පිටතට පැමිනි පසුත් ඔහුට නැතිවම බැරි විය. අමල් ළමා අපචාර සඳහා යොමු වූයේ කුඩා කල බීමත් පව්කාරයෙකුගෙන් වූ අපරාධයට යළි යළිත් පණ දීමෙනි. කුඩා කල බාප්පා අක්කාට සිදු කල අපරාධ දුටු ඔහු පසුව ගණිකාවන් පසුපස යෑමද නොකඩවා සිදු කලේය. එමෙන්ම මත්ද්‍රව්‍ය, මත්පැන් ඔහුගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංග විය. තමා කුඩා කල විඳි ශාරීරික වේදනා මතක් කරමින් පසු කාලවලදී අත් අඩංගුවට පත් විරුද්ධ කල්ලි වල සාමාජිකයින්ට සිදු වූයේ නිමක් නොමැති වේදනාවන්ට භාජනය වීමටයි. අමල් මේවන විටත් දරුණු පාතාල නායකයෙක්ව සිටියේය.

කවරක් වුවත් නීතියට හරස් විය නොහැකිය. මේ වන විටත් මිනී මැරුන් ගනනාවක් කර තිබූ අමල් පොලිස් දැලට හසු විය. උසාවිය මඟින් කල වැරදි සලකා බලා ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරිනි. මෙහි විශේෂත්වයක් තිබේ. ඔහු දහසක් වධ දී මරා දමා තිබුනේ කුඩා කල ඔහුව කෙළෙසා දමා විනාශ කල ඒ අධම මිනිසාය.
 නඩුව නිමා විය. තීන්දුව ලැබුනි. එදෙස බලා සිටි අධම මිනිසාගේ දියණිය පැවසූයේ,
"උඹ මගේ තාත්තා මරා දැම්මා. දැන් අපායට ගිහින් විඳවපන්, පව්කාරයා!" ලෙසය.

ඒ වචන පෙළ අමල්ගේ යට ගිය ආත්මයම ඔහුට මතක් කර දීමට සමත් විය. ඔහු හිස එසවූයේය. තම තියුණු ස්වරය අවධි කලේය........
 "නෑ............ මාව පොඩි කාලෙ විනාස කලේ ඒ මිනිහා........! උඹේ තාත්තා....... මගේ ළමා කාලය මට නැති කරලා මගේ ජීවිතේ විනාස කෙරුවා......... ස්වාමිනී මේ මිනිහා මේ මිනිහගේ පව් ඇරියෙ මගේ කර මතින්.......... මට එතකොට වයස 11යි. මුන් මගේ ජීවිතේ විනාස කරා................ ස්වාමිනී මාව මරා දාන්න......... ඒත් මම පව්කාරයෙක් නෙවේ ස්වාමීනී............. මම නෙවෙයි පව්කාරයා........ උඹේ තාත්තා.......... මාව විනාස කරපු පව්කාරයා..............." 
අමල්ගේ හඬ නෑසී ගියේ වේගයෙන් පැමිනි උණ්ඩයක් ඔහුගේ ළය පසා කරගෙන ගොස් ලේ විලක් මැද වැටීමෙනි. උසාවිය නොසන්සුන් විය...............

ආදරණීය මිතුරනි, මා මෙතෙක් වෙලා අමල් කෙනෙක් බිහිවන අයුරු ඔබට විස්තර කලෙමි. පව්කාරයෝ ආරම්භක සටහනක් වශයෙන් මෙය යොදා ගත්තේ මා විසින් මතු සටහන් තැබීමට අදාල වන මාතෘකා සියල්ල ආවරණය වන පරිදිය. අප සියළුම දෙනා වග බලා ගත යුත්තේ මෙවැනි සමාජ අසාධාරණයන්ට ලක්වී දරුණු අපරාධකරුවන් බවට පත් වන දරු පැටවුන් ඒ මාර්ගයන්ට අවතීර්ණ වීමට පෙර ඒවා වසා දැමීමයි. ඇත්තෙන්ම එය අප රටේත්, අප අනාගතයේත් ඉරණම වනු ඇත........

Wednesday, August 18, 2010

මළ විකාර

සමාජය විවිධාකාරය. මිනිස් චින්තනයද විවිධාකාරය. මිනිසාගේ අභ්‍යන්තර මනස කිසිවෙකුටත් හඳුනාගත නොහැකිය. බොහෝවිට තමාටම අභ්‍යන්තර මනස කෙසේ වෙතත් බාහිර මනසවත් හඳුනාගත නොහැකිය. බාහිර මනසින් අප යමක් කලත් බොහෝවිට ක්‍රියාත්මක වන්නේ අපේ අභ්‍යන්තර මනසයි. වර්තමාන සමාජයේදී බොහෝවිට කිසිදු අර්ථයක් නොමැති ක්‍රියාවන් පවතී. මේවායින් සමහරක් අද අපගේ සම්ප්‍රදායන් බවටද පත්වී තිබේ. ඒවා වෙනස් කිරීමට ඉතාමත් අපහසුය. මෙම සිදුවීම්ද විශාල වශයෙන් සමාජය තුල සිදුවේ. ඉන් සිදුවීම් 4ක් ගෙනහැර දක්වමි.

අප යම් වචනයක් භාවිතා කල යුත්තේ ඒ තැනට ගැලපෙන අයුරිනි. එමගින් කිසිවෙකුගේ උපහාසයට ලක්වීම ගෝචර නොවේ. මීට කලකට පෙර මා මිතුරෙකුගේ මවකගේ අවමංගල්‍යයකට සහභාගී වූ අයුරු මතක තිබේ. එයට මාගේ මිතුරාගේ තවත් මිත්‍රයෙකු පැමිනියේය. කොණ්ඩය පාට කර අමුතුම පිටසක්වල ජීවියෙකු ලෙස ඔහු සිටියේය. කැඩුනු සිංහලෙන් අමුතුම මන්ද බුද්ධික ආකාරයකට මාගේ මිතුරා සමඟ වචන කිහිපයක් ඔහු හුවමාරු කර ගත්තේය. 
"අම්මා එක පාරටම මචං නැතිවුනේ. මට දැනෙන්නෙ අම්මා තවමත් අපි අතරෙ ඉන්නවා වගේ" යනුවෙන් මගේ මිතුරා පැවසූ අතර, එක්වරම අර පිටසක්වල ජීවියා පැවසූයේ,"So Cool මචං" ලෙසය. මාගේ මිතුරාට යක්ෂයා ආරූඪ වූයේ එවිටය. අප කිහිප දෙනෙකු ඔහුව පාලනය නොකරන්නට එතැන තවත් මරණයක් සිදු වීමට ඉඩ තිබුනි.
එමෙන්ම facebook වල මීට කලකට පෙර "WE NEVER EAT BEEF" ලෙස සංවිධානයක් තිබුනි. එහි එක්තරා වීඩියෝවක තිබුනේ ගවයෙකු මරන දර්ශනයකි. ඊට යටින්ද මිනිස් වෙස් ගත් අමනයෙකු විසින් "COOL" ලෙස ලියා තිබුනි. කොහේ හෝ ඉංග්‍රීසි වචන කෑල්ලක් අල්ලාගෙන නැටීමෙන් මෙවැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

18වන සියවසයේ බ්‍රිතාන්‍යයේ මංමාවත්, දුම්‍රිය වාර්ග ඉදිකිරීම් ඉතා විශාල වශයෙන් සිදුවිය. අධික ශීතල සහිත ප්‍රදේශවල සේවය කරන කම්කරුවන් කලිසම් කමිස හැඳ ඊට උඩින් කෝට් 1ක් දමා පපු ප්‍රදේශයට සුළං නොවැදීමට ටයි පටියකින් එය ආවරණය කර ගත්හ. ධනවත් පන්තියක වැදගත් මහතුන්ගේ ඇඳුමෙහි මූලාරම්භය එයයි. මහ දවල් අධික උණුසුමක් පවතින දිනයන්හිදී මෙම ඇඳුමින් සැරසීමටද බොහෝ දෙනෙක් පසුභට නොවේ. (මමද අනන්තවත් වාරයක් ඉතා නොසන්සුන්ව එසේ කර ඇත.) ඒ එම ඇඳුම සමාජයේ මුල් බැසගෙන තිබෙන නිසාය. ඒවා වෙනස් කිරීම කිසිවෙකුටත් කල නොහැකිය.

යටත් විජිත සමයේ බොහෝ අප්‍රිකානු රටවල ඉංග්‍රීසි ජාතිකයන් ගීත ගායනා කරන විට කළු අප්‍රිකානුවන් මැද්දට පැන අසභ්‍ය වචනයෙන් බැනගෙන ගියහ. එමඟින් "RAP" ලෙස හැඳින්වෙන එක දිගට සංගීත නාදයක් මැද වචන කියාගෙන යන "උතුම්" සංස්කෘතිය බිහිවිය. පුරුෂ පක්ෂයට අයත් නොවන නිසා අදාල අවයවයන් වැටෙන්නට යද්දී ඒවා අල්වා ගැනීමට මහත් වෙහෙසක් දරමින්, මෙම "උතුම්" සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට වෙර දරන මැරයන් යැයි කියාගන්නා අමන මල්ලිලාත්, රෝස මල් සමනලුන්ටත් වඩා අහිංසක මල්ලිලාත් බිහිවූයේත්, බිහිවන්නේත් මේ හේතුවෙනි.

ජගත් සංවිධානවලද සමහරවිට යම් සංකේතයක් සඳහා යොදා ගන්නේ කිසිදු වැදගත්කමක් නැති අදාල තැනට කොහෙත්ම නොගැලපෙන සංකේතයි. එයට හොඳම උදාහරණයනම් සාමයේ සංකේතය ලෙස පරෙවියා යොදා ගැනීමයි. තම වර්ගයේ එවුන් සමඟවත් කිසිදු සමගියක් සාමයක් නොමැතිව නිතරම කලහකාරීව හැසිරෙන පරෙවියා සාමයේ සංකේතය ලෙස යොදාගන්නා ලෝකයක අන් දේවල් ගැන කවර කතාද යන්න සිතිය යුතු කරුණකි