Monday, October 11, 2010

පව්කාරයෝ - 3:- කප්පම්කරුවෝ.

2010/08/31. සපුගස්කන්ද සෝහිත විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යසස් ප්‍රසංජන පුතු මාකොළ හන්දියේ වූ වෙළඳසැළකට ගොඩ වූයේය. නමුත් නැවතත් තම නිවෙස බලා පැමිණීමට ඔහුට හැකිවූයේ නැත. මහමඟ තම මරු සිටිනා බව මේ අහිංසක දරු පැටවා දැන නොසිටියේය. අමනුෂ්‍ය ලෝකයෙන් වරම් ගත් පව්කාරයින් දෙදෙනෙකු මෙම අහිංසක දරුවා එන තෙක් මඟ බලා සිටියහ. අමනුෂ්‍යන්ට අවශ්‍ය බිල්ල ලැබුනි. කුඩා යසස් රැගත් රිය හීයක වේගයෙන් ඉගිලෙන්නට විය. පව්කාරයන්ගේ දුරකථනය ක්‍රියාත්මක විය. යසස්ගේ පියා ඇමතූ ඔවුන් පැවසූයේ දරුවා බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 8ක කප්පමක් අවශ්‍ය බවයි. තම පුතුගේ ජීවිතයට අනතුරක් වේ යැයි බියවූ පියාට පොලිසියේ සහාය ලබා ගැනීමට සිදුවිය.පව්කාරයන්ගේ අධමත්වය ඉස්මතු විය. කුඩා යසස්ට පහර දුන් මෙම මෘගයන් තමා කුඩා කල බිව් ලේ කිරි සුවඳ අමතක කරමින් තවත් අහිංසක ජීවිතයක ලේ සෙළවීම සඳහා අහිංසක දරුවාගේ ගෙල මිරිකන්නට වූහ. එයින් නොනැවතුනු මෙම පව්කාරයන් පුංචි යසස්ගේ ජීවිතය විනාශ කිරීම සඳහා බිහිසුණු තීරණයක් ගෙන තිබුනි. එනම් දරුවාව වික්ටෝරියා ජලාශය වෙත තල්ලු කිරීමයි. තීරණය ක්‍රියාත්මක විය. මර බියෙන් කෑගසමින් සිටි දරු පැටවා පහළට තල්ලු කලහ. නමුත් පව්කාරයින් සිතූ අයුරින් එය එසේ සිදු නොවීය. ගස් මුල් අතර රැඳීමෙන් යසස්ගේ ජීවිතය ගැලවුනි.

දේශයේ අභාග්‍යයට, ලෝකයේ අභාග්‍යයට උපන් පව්කාරයන් අතින් අභාග්‍යමත් ලෙස විනාශවීමට ගියද යසස් පුතුගේ ජීවිතය පෙර පිනක් ඉස්මතු වීමෙන් ගැලවුනි. අහිංසක දරු පැටවාගේ ජීවිතය එසේ ගැලවුනත් මීට පෙර ඉතිහාසය තුල ඉතිහාසයට කැළැල් පරිච්ඡේදයන් එක් කරමින් අධම පව්කාරයන් අතින් මරු තුරුළට ගිය අපේ දරු පැටවුන් පිළිබඳව විමසා බලමු.

ආදරණීය මිතුරනි, අප ඉතිහාසය පුරා මෙවැනි සිදුවීම් කොතෙකුත් තිබේ. ඒ සෑම අවස්ථාවකම මෙම පව්කාරයින්ගේ ඉලක්කය වූයේ අනාගතයයි. කිසිදු වරදක් නැති දරු පැටවෙකි. මුදල් සෙවීම සඳහා දෙමාපියන්ගේ ජීවිතය බඳු අහිංසක දරු පැටවෙකු පැහැර ගැනීම වර්තමාන ලෝකයේ පවතින අධමත්වය පෙන්වන මනා කැඩපතකි. දැන් මා ප්‍රධාන සිදුවීම් කිහිපයකට අවධානය යොමු කරමි.

මෙම වසරේ මුල් කාලයේ කුරුණෑගලදී කප්පම් සඳහා පැහැර ගන්නා ලදුව පසුව මරා දැමූ මහිම සඳකැළුම් සිල්වා දරුවාගේ ඝාතනය සිහිකර බලන්න. අවසානයේ දක්නට ලැබුනේ පර්වතය පාමුලවූ ඇට කටු පමණි.

එමෙන්ම 1998 වසරේදී කප්පම් ගැනීම සඳහා පැහැරගත් සදීප ලක්ෂාන් දරුවාගේ සිදුවීම සිහිකර බලන්න. පවුලට ඈතින් ඥාතියෙකුද වූ ලාබාල ඝාතකයා අහිංසක දරුවාව එසේ පැහැරගෙන පසුව මරා දමන ලද්දේ තම පෙම්වතියගේ ක්ෂණික මුදල් අවශ්‍යතාවයකටය. ඒ සඳහා ඔහුට උදව් කල සහායකයන් දෙදෙනාට ලැබුනේ ගංජා සුරුට්ටු 10 බැගිනි. මුදල් වෙනුවෙන්, මත්ද්‍රව්‍ය වෙනුවෙන් අහිංසක දරුවා තම ජීවිතයෙන් වන්දි ගෙව්වේය.

මෙවන් සිදුවීම් වාර්තා වූයේ මෑතක නොවේ. 80 දශකයේදී ලක්ෂ 2ක කප්පමක් සඳහා පැහැර ගෙන පසුව මරා දැමූ මතුගම සමන් කුමාර දරුවාගේ ඝාතනය සිහි කර බලන්න. ඔහු පැහැර ගන්නා ලද්දේ පාසල් යන අතරවාරයේයි.

කරන ලද පව් වලින් යම් කොටසක් හෝ මේ ජීවිතය තුලදීම ගෙවීමට සිදුවූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ. ඒ (අව.)නීත්‍යානුකූල ලෙස 88,89 භීෂණ යුගයේදී එක්තරා පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධ සිදුවීමකිනි. මොහු දරුවන් පැහැරගෙන කප්පම් ගැනීම සිදු කලේය. එසේ මුදල් නොගෙවූ පවුල්වල දරුවන් ටයර් සෑයන්හි ආදාහනය කිරීමද මෙම පව්කාරයා අතින් සිදුවූ තවත් සත්කාරයක් විය. දෙමාපියන්ගෙන් මංකොල්ල කෑ මුදල් තම වත්කම හෙළිවෙතැයි බියෙන් බැංකුවක පවා තැන්පත් නොකර අල්මාරියක ගොඩ ගැසුවේය. පසු කලෙක ඔහුගේ ඇඟ පුරා ගෙඩි ඇතිවී පැසවා සැරව ගලන්නට විය. ඒ අතරතුර උග්‍ර මානසික ආබාධයකින්ද පෙළුනේය. කවර වෙදකමක් කලද සුව නොවූයෙන් තැන්පත් කල මුදල් දෙසවත් නොබලාම ඔහු අපා ගත විය. (මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ මේ ජීවිතයේදීම පල දෙන කර්මය නම් ග්‍රන්ථයෙනි.)

මේ කවර ආකාරයෙන් සිදු කලත් මෙවැනි පව්කාරයන්ට මේ ආත්මයේදීම හෝ පරලොවදී මෙම පාපයන්ට විපාක ගෙවීමට සිදුවනු නො අනුමානය. මරණින් මතු ඒකාන්තයෙන්ම අපාගත වන මෙම පව්කාරයින් යන්තමින් හෝ පිනක් ලබා ඉපදුනත් කල පව් පසු පසින් පැමිනේ. එනම් කිසිදිනෙක මෙවැන්නෙකුට දරු පැටවෙකුගේ සුරතල් බැලිය නොහැකි වනු ඇත. ඉපැදුනත් කවර හෝ අංගෝපායන්ගේ අඩුපාඩුවක් සහිතව ඉපදෙනු ඇත. එසේත් නොමැතිනම් මහා නරකයන්හි ලෝදිය සයුරේ කිමිදෙමින්, අසිපත් වනයේ වූ අසිපත් පත්‍ර වලට තම ශරීරාවයන් සිඳ ගනිමින්, නිර පාලකයන් විසින් පමුණුවන ලබන පංච මහා වධ බන්ධනයන්ට ලක් වෙමින් කල්ප ගනන් නිර වල පැසීමට සිදුවනු ඇත. ඒ ඔවුනට විරුද්ධව සොබාදම් නීතිය ක්‍රියාත්මක වන ආකාරයයි.

කප්පම්කරුවන් බිහිවන්නේ කෙසේද?
මූලික හේතූන් කිහිපයක් හඳුනා ගත හැකිය. ඉන් ප්‍රධාන වන්නේ,
1. ක්ෂණික මුදල් අවශ්‍යතාවයන් ඇතිවීම.
2. දරුවාගේ දෙමව්පියන් සමඟ පවතින වෛරයක් දරුවාව පෙළීම මඟින් පිරිමසා ගැනීමට උත්සාහ දැරීම.
3. අන්‍යෝන්‍ය දියුණුවට පවතින ඊර්ෂ්‍යාව සහ අකමැත්ත.
4. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී සිටීම.
5. ළමා අපචාර සඳහා ඇබ්බැහිව ඒ සඳහා දරුවා යොදාගෙන පසුව බොරුවට කප්පම් ඉල්ලා දරුවා අතින් රහස හෙළිවෙතැයි බියෙන් මරා දැමීම.
6. යහපත් ළමාවියක් නොලැබීම සහ වර්තමානයේ පවතින පීඩිත ජීවන රටාව,
යන ඒවායි.

අවසානයේදී................
මෙම පව්කාරයින් විසින් පැහැර ගන්නා ලබන දරුවන් මොවුන්ගේ මුහුණු හොඳින් හඳුනති. එනිසා දෙමාපියන්ගෙන් මුදල් ගත්තද මොවුන් නිදහස් කරතැයි බලාපොරොත්තු විය නොහැකිය. බොහෝවිට මොවුන්ට සිදුවන්නේ මරු තුරුලට යෑමටයි. ඉතිහාසය පුරා පවතින දත්තයන් විශ්ලේෂණය කිරීමේදී එය පැහැදිලිවේ. එමෙන්ම විටෙක මෙම අහිංසකයන් මිය යන්නේද වචනයට නැඟිය නොහැකි තරමේ මහත්වූ වේදනාවන්ට මුහුණ දීමෙනි. (යසස් පුතුගේ සිදුවීම සලකා බලන්න.) 

විසඳුමක් සෙවීමේදී................
ඕනෑම අපරාධකරුවෙකු සතුව මානුෂික මුහුණුවරක් තිබිය හැකිය. නමුත් ළමා අපචාරකරුවන්ගේ සහ කප්පම්කරුවන්ගේ අපරාධයන්හි කිසිදු මානුෂික මුහුණුවරක් කිසිදු අයුරකින් නැත. මෙම පව්කාරයින් තම බිහිසුණු අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්නේ අපගේ අනාගතයයි. අපගේ රත්තරන් දරු පරම්පරාවයි. බිලි පූජා පැවැත්වීම සඳහා දරු පැටවුන් යොදා ගැනීමද මේ ගනයෙහිලාම සැලකිය හැකිය. 
ආදරණීය මිතුරනි, මා කුරිරු මිනිසෙකු ලෙසවත්, මනුෂ්‍යත්වය නාඳුනනා අයෙකු ලෙසවත් නොදකින්න. මෙවැනිවූ පව්කාරයින් සඳහා මා යෝජනා කරන දෙයක් පවතී. එනම් කසපහර විශාල ප්‍රමාණයක් තැලීමෙන් අනතුරුව ඒ මොහොතේම විශාල ජනකායක් මධ්‍යයේ ගෙල සිඳ මරා දමා ඉක්මනින්ම නිරයේ සුව පහස ලැබීමට යැවිය යුතු බවයි. මේ සිදුවීමට සම්බන්ධ යම් අයෙකු සිටීද ඔහුටද කසපහර විශාල ප්‍රමානයක් තලා බොහෝ කලකට බන්ධනාගාර ගත කල යුතුය. එසේත් නොමැතිව අපගේ රත්තරන් දරු පරම්පරාවට සිදුවන මෙම ව්‍යසනය නතර කර ගත හැකි නොවේ. එකෙකු දෙන්නෙකුට හෝ මෙවැන්නක් සිදු කල විට සෑහෙන ප්‍රමාණයකින් මෙම අපරාධයන් වළක්වා ගත හැකි බව මාගේ අදහසයි.

ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ ලේ කිරි කඳුළින් සැදුනු ඔබේ දරු පැටවා ඔබේ ජීවිතයයි. ඔහු ඔබේත්, රටේත් අනාගතයයි. ලේ කිරි සුවඳ අමතක කර දමා මුදලට හෝ පළිගැනීමට වියරුවී ඔබේ අහිංසක දරු පැටවා බිළි ගැනීමට මාන බලමින් සිටින අධමයන් වර්තමානයේ බහුලය. ඔබටත් නොදැනීම, ඔබේ ජීවිතය වූ රත්තරන් දරු පැටවා මෙම පව්කාරයින්ගේ ගොදුරක් වීමට ඉඩ තිබේ. එනිසා ඔබ ඔබේ දරු පැටවා ගැන දැඩි සැළකිල්ලක් යොමු කරන්න. මෙවැනි අධමයන්ගේ කුරිරු හස්තයට ලක්ව ඔබේ අහිංසක දරු පැටවාගේ ජීවිතය විනාශවී යෑමට ඉඩ දෙන්න එපා! මෙවැනි ජඩයන් නීතියේ හස්තයට ග්‍රහනය කර ගැනීමට ඔබගේ ශක්තිය ලබා දෙන්න. හෙට දිනයේදී මොවුන් බිළි ගන්නේ ඔබේ දරුවා විය හැකිය. එසේත් නොමැතිනම් මතු දිනයක මගේ දරුවා විය හැකිය........

Monday, October 4, 2010

දිනපොතින් පිටුවක්:- නාකි විසේ.

 එදින එම පෞද්ගලික ආයතනයට මා ගියේ මගේ පියාගේ මිතුරෙකු හමුවීමටයි. ඔහුට යම් සංගමයක ලිපි වගයක් භාර දීමට තිබුනි. ________ අංකල් හමුවීම සඳහා තවත් බොහෝදෙනෙකු සිටි නිසා මා තරමක් පසෙකට වී සිටියෙමි.
මා අසලින් වයස අවුරුදු 65 ඉක්මවූ මිනිසෙක් අසුන්ගෙන සිටියේය. මා දෙස බැලූ ඔහු විමසුවේ,
"What are you doing here?" ලෙසය.
මා ඉතා පැහැදිලි හෙළ බසින්
"ඔබ සිංහලද"යි විමසුවෙමි.
ඔහු "Yes" කියා මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කලේය.
ඒ වන විටත් මට දැඩි හිසරදයක්ව සිටි මගේ පියාටත් වඩා වයසවූ මෙම කෙස්ස පැසුනු නාකියා මා ඇමතුවේ "Brother" ලෙසය. 

වටපිට සිටි පොත්ත සුදුවූ නංගිලාටත් ඔහු පොෂ් අයියා කෙනෙක්ද, මා ගොඩේ මිනිහෙක්ද වන්නට ඇත. මා සමඟ කතාවේදී මෙම නාකි මනමාලයා ඒ නංගිලා දෙසත් ජරා බැල්මක් දමනවා මා දුටුවෙමි. මෙම නාකියාට ඔවුන්ගේ වයසේ මිනිබිරියන්ද සිටිය හැකිය. මගේ රතු කට්ටද සීඝ්‍රයෙන් ඉහළ යන බවද මට තේරුනි. _______ අංකල්ට තවම නිදහසක් නැති නිසා මට මේ නරුමයාගෙන් තවම ගැලවිල්ලක් නැත. මා මුලින් ඔහුට මහත්මයෙකු ලෙස මහත්මා ලීලාවෙන් කල කතාව පසුව වෙනස් වනු ඔහුටද වැටහෙන්නට ඇත.

මම ඔහුගෙන් ඇසුවේ, "ඇයි සිංහලෙන් කතා කරන්නෙ නැත්තෙ?" ලෙසය. වට පිටේ සිටි පොත්ත සුදු නංගිලා අපහාසයට සිනාසීම මගේ කෝපය දෙගුන තෙගුන කලේය.

ඉතා අපහසුවෙන් මෙන් ඔහු සිංහල භාෂාවෙන්, "මල්ලී සිංහල කියන්නෙ ගොඩයන්ගෙ language 1. අපි international language 1න් තමයි කතා කරන්න ඕනි. මුන් රටේ රාජ්‍ය භාසාව english කරන්නෙ නැති 1නම් හරි වැරදියි" ලෙස කීවේය. අර නංගිලාත් එයට හූමිටි තැබූහ.

අන්න එවරනම් මගේ රතු කටු කෝටියක් පමණ පැනගෙන ගොස් අධික කෝපයකින් මා වෙව්ලන්නට විය.මේ අංකල්......... ලෙස පටන්ගෙන මා කල කතාව අවසානයේදී ඔවුන් සියල්ලන්ගේම රෙදි පටි ගැලවී ගොස් විළි බියෙන් යුතුව ආ කාරණය පවා පසෙක තබා අකුළාගෙන ගියහ. මේ සංවාදය සිදුවූයේ කාර්යාලයෙන් පිටත නිසා පියාගේ මිතුරාට එය නෑසෙන්නට ඇත. එය ඇසුනත් කුඩා කල සිට මා හොඳින් හඳුනන නිසා ගැටළුවක්ද නැත.

පසු විපරම:-
 මෙහි වැදගත් වන්නේ මෙය නොවේ. මෙවැනි අදහස් දරන අමනයන් පිරිසක් අද අප රටෙහි බහුලව දැක ගත හැකිය. අප හෙළ බසෙහි මළගමට රෝගකාරී විෂබීජ වන්නේ වෙනත් කිසිදු ජාතියක පිරිසක් නොව අප ජාතියේම සිටිනා මෙවැනි ජඩයන්ය. මොවුන්ට දැන් හෙළ බස පෑහෙන්නේ නැත. නමින් හෙළ වුනත් කළු සුද්දන් ලෙස සිටීමට මොවුන් කැමතිය. හෙළ චාරිත්‍ර මොවුන්ට "ගොඩේ" වැඩය. බටහිරින් එන ඕනෑම කැළි කසළක් පෙරේත කමින් ගිලීමට තොල කට ලෙවකමින් සිටිනා මෙවැනි පාහරයන් අද වනවිට දණ්ඩක් ඇතුලින් වේයන් පිරිසක් දණ්ඩ කා දමනවා සේ අප තුල සිටිමින්ම අපගේ මව් බස කා දමමින් සිටිති. ඉහළට යන්නේද මොවුන් සහ මොවුන්ගේ අනුගාමිකයන් නිසා වර්තමානයේදී අප හෙළ බස මහත් ආගාධයකට පෙරළී තිබේ.
බ්‍රිතාන්‍ය අසිපත හෙළ සිංහයාගේ පපු තුඩින් ගත්තද සිහ සිරුරෙහි ඇතිවූ කැළැල් කිසි දින මැකිය හැකි නොවේ. හෙළ බසට අවමන් කරමින් පර බස අගයන පරයින් පිරිසක් බිහිවූයේ මෙම ශාපයෙනි. උන්ගේ හමුවීම් වලදී සිටින සියල්ලන්ටම හෙළ බස ඇමතිය හැකි වුවත් මුන් අමතාගන්නේ පර බසිනි. එය උන්ගේ පර ගතියයි. මා හට තනිව කල හැකි කිසිවක් නැත. තනි මිනිහෙක් හෝ හෙළ බස කතා කරන දිනය තෙක්ම එය දිදුලමින් පවතිනු ඇත. නමුත් ඒ මොහොතේ ඇතිවූ අධික සංවේගයට මා හට මතක් වූයේ අබේවර්ධන බාලසූරිය මහතාගේ මෙම ගීතයයි........

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා
කළු සුද්දන් ගැතිව පවසන තෙපුළ අසා
කකියයි රුහිරු රුපු සේනා තෙදණ නසා
නිවහල් ගඟ ගලයි අද මුළු රටම වසා

පරයින් බසට ගැති හෙළයන් පිටු දකිනු
පරයින් පා සිඹින වහලුන් දුරු කරනු
පරයින් මිතුරු කැළ සතුරන් ලෙස සිතනු
පරයින් නසන නිදහස් පිළි රැව් නගනු

පර ගැති කුමරුවෝ හිනැහෙති  සඳළුතලේ
පර ගැති නැති පුතුන් පසු වෙද පිදුරු පැලේ
උන් ආ දිනෙක බිඳදා අදිරද සතුරු බලේ
මේ ලක් පොළොවෙ නිවහල් මල් පොකුරු දිලේ

..ඔබටත් "පොෂ්" වීමට අවශ්‍යද?..මෙන්න නොමිළේ පුහුණුවක්...

(මෙය නිශ්ශංකගේ චින්තනයක් නොවේ. මෙය දමිත්ගේ චින්තනයකි. දමිත් කේතක අයියාගෙන් අවසර රැගෙන මෙය මා විසින් නිර්මාණය කල බ්ලොග් අඩවිය තුල ප්‍රදර්ශනය කරන්නේ මෙම සටහන ඒ තරම්ම වැදගත් බැවිනි. මෙහි මුල් කතෘට මාගේ ප්‍රණාමය!)



අද ලංකාවේ "පොෂ්" පැලැන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ පොෂ් පැලැන්තියද අබිබවා යන තරමට පොෂ් ය..කෙටියෙන් කිව්වොත් "පොෂේ පොෂ්ය"..අන්තර්ජාලය තුල ඔබට පොෂේ පොෂ්ලා අප්‍රමාණව සොයා ගත හැක..ලාංකික පොෂ්ලා වර්ග දෙකක්යැයි සමහරු කියති..එනම් "රියල් පොෂ්" සහ "වෙන්ට පොෂ්" යනුවෙනි..මෙහි වෙන්ට පොෂ් යනුවෙන් හඳුන්වන්නේ, උප්පත්තියෙන් ඇට මිදුළු තුලට කාන්දු නොකරන ලද "පොෂක්" ඇඟේ පතේ එල්ලා ගැනීමට, අළුයම සිට මධ්‍යම රාත්‍රිය තෙක් අම්බානක ට්‍රයි එකක් දෙන අයටය..

නමුත් මට පුද්ගලිකව හැඟෙන දෙය නම්, පොෂ් ආර උපන් හැටි ගවේෂණය කර බලන විට අප රට තුළ සිටින්නේ සමස්ථයක් ලෙස බලන කල "වෙන්ට පොෂ්" ලා පමණක්ම බවය..මොකදැයි කිව්වොත් අද ඔය "චීයා මෙයා කන්ට්‍රි සයිඩ් මඩි ඇන්ඩ් ඩස්ටි" කියන අයගේ අප්පලා, මහප්පලාත් හොඳට කර වටක් හැලි කුඹුරු වල මඩේ බැස ගොවිතැන් කල, අහිංසක සාධාරණ මිනිසුන් වීම නිසාය..ලංකාව දූපතකි..එනිසා මේකලාගේ පරම්පරාවල මුල් ඇත්තේද, අද ඔවුන් "ගොඩයන්" යැයි කියන අපේ මුල් ඇති තැන්වලම තමාය..උන්ගේ පරම්පරා බී ඇත්තේත්, මුලින් සිංහල තන කිරිත්, පසුව සිංහල පොලවේ තණ කන කිරි අම්මලාගේ කිරිත්මය..නැතුව මුන්ට "මෝල්ටඩ් මිල්ක්" පොවන්නට ඒරොප්පෙන් වික්ටෝරියා කිරි බුරුල්ල දික් කළේ නැත..දික් කළා යැයි මුන් සිතාගෙන සිටීම වෙනම කාරණයකි..

...පොෂ් වන්නේ කෙසේද යත්...

ඔබ පිරිමියෙකු වේ නම්, කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්, ගැහැණියක වේ නම් පිස්සියක සේ කෙස්ස වනාගෙන සිටීමෙනුත්, දෙපාර්ශ්වයම ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවාගෙන, කරවටා ඇට මාලයක් බැඳගෙන, පොඩි "ලිට්‍රිචර් බර, ආර්ට් බර" ලුක් එකක් ගැනීමෙන් "පොෂ්" සොයා ඔබ යන ගමන ආරම්භ කළ හැක...

ඔබ සිංහල කමට, බෞද්ධ කමට පයින් ගැසිය යුතුමය..ඒවා තියාගෙන ඔබට පොෂ් වන්නට තියා හිතන්නටවත් නොහැක..එසේ පයින් ගසා "පෝස්ට් මොඩර්නිස්ම්" නමින් ඔබට සපයා දෙන, ඔබට දිරවා ගත නොහැකි ආහාර වේල්, මේස පහුරු ගගා වුවද, අමාරුවෙන් ගිලීම ආරම්භ කළ යුතුය..එවිට ටික වේලාවක් යනවිට ඔබද "පෝස්ට් මොඩර්න් පොරක්මි" යන හැඟීම ජනිත වනු ඇත..මේ කෑම ඇමරිකාවේ සිට සීත කර, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යහමින් කවලම් කර එවුවත්, නියම "පොෂෙක්" වීමට නම් මේවා සිංහල ලිප් ගල් වල තබා රත් නොකිරීමට වග බලා ගන්න..හැකිනම් හෝදන්නේ වත් නැතුව අමුවෙන් කෑම යෝග්‍යය..හීතල පිටින්ම කනවා නම් වඩා හොඳය..එවිට බොක්ක කූල් වී, පොත්තද ඩින්ගිත්තක් සුදු වනු ඇත...

...ඇස් සහ මොළය...

මේ කෑම බොක්කේ වදිනවාත් සමඟම ඔබේ "නෝර්මල් විෂන්" එක ක්ෂණිකව වෙනස් වී "වැම්පයර්" ඇස් දෙකක් පහළවේ..එය දම් පාට, කොළ පාට, රතු පාට හෝ නිල් පාට වුවද විය හැක..එය මොන පාට වුවත්, එතැන් සිට ඒ ඇස් දෙකට, "පඬුවන් පැහැය" හා "කාකි පැහැය" පේන්නට බැරි වනු ඇත..එනම් බුද්ධ චීවරය හා ලාංකික ත්‍රිවිධ හමුදා යුනිෆෝම් දෑහැට දකින්නට බැරි තත්වයකි...බැරිවෙලාවත් දෑහැට දැක්කොත් දෑසම පිලිස්සී යාමේ තර්ජනයක් ඇති බැවින්, "වැම්පයර්ලා" ඉර එළියෙන් ආරක්ෂාවී දවල් කාළය සොහොන් ගෙවල් අස්සේ සිටින්නා සේ, පන්සල් හෝ ආමි කෑම්ප් අසළින් යෑම නොකිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යය...නමුත් මේ ඇස් දෙකට, ඩොලර් නෝට්ටු වල ලා කොළ පැහැය නම් ඉතාම සැනැසිලි දායක දර්ශණයක් වනු නො අනුමානය..

මේ අළුත් ඇස් ජෝඩුව, ඔබට ජන්මයෙන් ලැබී ඇති සිංහල මොළය සහ දෘෂ්ටික ස්නායු සමඟ පෑහෙන්නේ නැත...( කම්පියුටර් බාසාවෙන් කිවහොත් " කම්පැටිබල්" නැත )...එනිසා ඇතැම් විට, ටික වෙලාවක් බලන විට ඇස් කකියාගෙන එන ගතියක් දැනුනොත්, බැරෑක් ඔබාමාගේ කෝට් සාක්කුව දෙස මොහොතක් බලා අනිමිස ලෝචනය දැක්වීමෙන් ඇස් කැක්කුම මඟ හරවා ගත හැක...

ඒ ආහාර දිරවා ගත නොහැකිව ඔබ අභාවප්‍රාප්ත වූ දිනක, "පෝස්ට් මොඩර්නිස්ම්" එක ක්ෂණිකව "පෝස්ට් මෝර්ටම්" එකක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවද ඔබට ලැබෙනු ඇත..එදාට බොක්ක අස්සේ, සිංහල ගැස්ට්‍රික් වලින් බේරී, බඩවැල් කමින් සිටින, මිෂෙල් ෆුකෝලා, ජැක්ස් ඩෙරීඩාලා, ජීන් ලියෝටර්ඩ්ලා එලියට ඇද දැමූ පසු, ඔබට පාංශු කූලය දී, මතක වස්ත්‍ර පූජාවක් කර ගැනීමට මහා සංඝ රත්නය ලං කර ගැනීමට සිදුවනු ඇත..මෙය මේ කෑමේ පොඩි "සයිඩ් ඉෆෙක්ට්" එකකි....එතෙක් භික්ෂූණ් වහන්සේලා, කුස ගින්න නිවා ගැනීමට පිණ්ඩ පාතයේ වැඩීමවත් ඔබට පෙන්නනට බැරිවනු ඇත..හිතෙන්නේම බනින්නමය..

...බාසාව සහ කථනය...

මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු "හිංගල" නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් "Translate" කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත...පොෂ් වෙන්නට "ට්‍රේනින්" අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් "ඩික්" එකක් හෝ නැත්නම් "මධුර ඔන්ලයින්" හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය..

එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය...

එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය...ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි..අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා..."Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo.." ඔය තියෙන්නේ නම් ඕන තරම්..ඒත් මදි නම් "සයිමන් නවගත්තේගමයන්ගේ" නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, "මාර්ටින් වික්‍රමසිංහයන්ගේ", වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න...
ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල "පරිවර්තන" අවකාශයේ ඔබම අතරමං වී, "ඇඩ්‍රස්" නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත...

ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි..

ඔබ තරුණ වයසේ සිටින "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:

"යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ" ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි..(Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..)..හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න..කුකුළන් හඬලන සද්දය ඇසීම, "පොෂ්" ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය...

මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා..තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා..එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා..

ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා..මක් නිසාද එහි සිටින්නේ "පොෂ්" වුවත්, ඔබ "පොෂේ පොෂ්ය"..

ඔබ මැදි හෝ මහළු වියේ "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:

" වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්‍රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්" වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්‍රමාණවත්ය...

උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ "ගෝඩ්", "ජීසස්" වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය...

කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න...හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය..ඒ පොත් නැති කරගන්න නම් එපා..නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, "තමන්ගේම කියා" යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත...

....ජාතිය හා ජම්මය...

අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත...

එතැන් සිට ඔබ "සිංහල" නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය "සිංහල" යන්න අමාරුවෙන් ගිල ගන්න..එතැන් සිට ඔබ "ශ්‍රී ලන්කන්ය"..රෝගය තවත් උත්සන්න වන විට "ශ්‍රී ලන්කන්" එකත් ගිලිහී ගොස්, "යුනිවර්සල් ජොයින්ට්" එකක් වීමේ අවදානමක්ද පවතී..ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න..එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න...අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊයෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන "උම්මා" දීගෙන, දීගෙන යන්න..( එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න.. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත..)

ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය "සිංහලේ" නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න...

" නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙ‍ය්‍ය වනයේ ප්‍රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්"...

.. එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත...

....ආගම....

සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ..නිතරම "කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය" යන්න පුණුරුච්චාරණය කරන්න..

කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්:

" නෑ..බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .....ඩිඟි..ඩිඟි...ඩිඟි....බ්ලාහ්..බ්ලාහ්....මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්"

හරි නේ?...

....ආදායම් මාර්ගය...

අර අමාරුවෙන් වචන ගළප, ගළපා තේරුම් ගත් න්‍යායයන් ඔබට එවා වදාළ න්‍යායාචාර්ය වරුන්ම ඔබට ආදායම් මාර්ගයන්ද සකසා දෙනු ඇත..එතැන් සිට ඔබට කරන්නට පැවරෙන්නේ "මාර්කටිං" ජොබ් එකකි..

විකුණන්නට ඇත්තේ වර්ග කිලෝමීටර 65,525ක් තරම් විශාල ඉඩමක් සහ එහි මුල් පදිංචි කරුවන් වන, ගණනින් එක් කෝටි හැට ලක්ෂයක් තරමේ පිරිසකි..ඒ පිරිස සහ ඉඩම විකිණිය යුත්තේ එහිම වෙසෙන හතළිස් ලක්ෂයක් තරම් සුළු පිරිසකටය...

මේක හිතන තරම් පහසු කෙළියක් නොවේ! මක් නිසාද මේ ඉඩම වටකරගෙන තුන් ලක්ෂයක් තරම් වන "කාකි ඇඳුම්" අඳින පිරිසක්ද, තිස් දහසක් තරම් වන "පඬු පැහැති" ඇඳුම් අඳින පිරිසක්ද සිටිති...ඔබ කළ යුත්තේ, ඔබත් උන්ගෙන්ම පැවත එන බව අමතක කොට, හුස්ම අල්ලාගෙන උන්ට දෙහි කැපීමයි..කපා ඒ අය ලෝකයා හමුවේ නෝණ්ඩි කිරීමයි, පච කිරීමයි..ඔවුන්ව මානසිකව වට්ටා, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිංදුවට බැස්සවීමයි..

මෙය ඔබට විවිධ අයුරින් කළ හැක..එක්කෝ වැඩි වියදමක් නොයන ලෙස, තුට්ටු දෙකට ගත් මුද්‍රණාලයක "මිස්ලීඩර්" වර්ගයේ කැලෑ පත්තරයක් අටවා ගත හැක..නො එසේ නම් "පුරහඳ විලි ඇර" හෝ "දුගඳ එනු පිණිස" වර්ගයේ චිත්තරපටියක් සම්භාව්‍යය පස් වන මණ්ඩලයට මුදා හරින්නට ගොස්, ඒවා තහනම් වූ පසු, ඒ පිළිබඳව සමුළු, වැඩමුළු, කව, කතිකාවත් තබා, පොළවේ පස් කමින්, හැපෙමින් ලොවට පෙනෙන්නට හඬා වැටිය හැක...(කවුරුත් පයිසෙකටවත් ගණන් නොගත්තොත්, ජනතාවටද බැණ වැදීමට අමතක නොකරන්න )..කීයක් හරි වැඩි පුර යහමින් අතට දෙතොත්, ඊටත් එහා ගොස්, කවුන්සිලේ සාක්කි දීමටද ඔබට වරම් ලැබෙනු ඇත..මෙය හරියට කරතොත්, ගජ ලාබ දෙන ව්‍යාපාරයකි..මූල්‍යමය හෝ බුද්ධිමය ප්‍රාග්ධනය කිසිවකින් තොරව, මිලියන ගණන් ලාබ ලැබිය හැකිය...

මේ අතරතුර, යාන්තම් වැඩිවියට පැමිණෙන බට්ටන්, බට්ටියන් පිරිසක්, අර අමාරුවෙන් ගලපා ගත් දර්ශණයන් දා මෝල් කර, ෆෝම් කර, සංසද, කව, සංගම්, සෙන්ටර්, යූනියන් ටිකක් අටවා ගැනීම අනාගතයට හිතකර වේ..ඒවාට අවශ්‍ය නම්, කටපාඩම් කර ගත් වචන ලැයිස්තු බැලූ විට සොයා ගැනීම පහසුය..."සෙන්ටර් ෆෝ පොලිසීස්, ෆ්‍රී මීඩියා සෙන්ටර්, නැෂනල් පිස් ( සමාවන්න "පීස්") කවුන්සිල්, ඊක්වලිටි යූනියන්" ආදී නම් කිහිපයක් නියමයි...පිට රටවල සිට බලන විට ලස්සනට පෙනේ...

මේ බටු කොලු කෙල්ලන්ට .."මේ විදියට සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වීම ඉතාම භයානකය.. එසේ ජීවත් වීමෙන් අප අභ්‍යන්තරික භ්‍රාණ්තීන් විඳවන රෝබෝලා වන්නේය..අපගේ ආත්මීය සංඝටකයන් මෙ නිසා ක්‍රාන්තියට පත් වන්නේය..." යනාදි බ්‍රහ්ම ටෝක්ස් ටිකක් සහිත දේශන, පන්ති, වැඩමුළු පවත්වන්න..එවිට ඔබ කියන ඔබටත් නොතේරෙන හබ්බය, ඔවුනුත් අසාගෙන, ඔවුන්ටත් නොතේරෙන හබ්බයන් සාදාගෙන, තැන, තැන කිය, කියා ඇවිදිණු ඇත...

මේ රැකියා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ගුද මාර්ගය අනිවාර්යෙන්ම පත්වන බැවින්, එය නිතර පිරිසිදුව තබා ගැනීමද බෙහෙවින්ම වැදගත් කරුණකි...

..."පොෂ්" චර්යා රටා...

උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට "වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ" කියා කීම මැනවි..පුරුෂ පක්ෂයට මේ "ස්පා" එක වෙනුවට "මසාජ් ක්ලිනික්" එකක් ආදේශ කරගත හැක..ඒවායේ සිටින්නේද, ඔබට පෙර "පොෂ්" වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය...

ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න..සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න..කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, "බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ" නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් "ගොඩයන්" ලෙස හංවඩු ගසන්න...මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් "හියුමන් රයිට්ස්" තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් "කුක්ෂරය" වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න..

අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න..අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත..පොෂේ පොෂ්ය...

ඉඳ හිට හෝ අර ඉහත කී ආදායම් මාර්ග වලින් ඔබ උපයා ගත් දෙයින්, ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට "මාෂ් මිලෝස්" කෑලි දෙක තුනක්, "ජුජුබ්ස්" කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය "හායි" (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය...

පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත "බ්ලැක්බෙරි" ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය...

ඌ.ඇන්.පියේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය..රටේ "ඉකොනොමිය" ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු "ජෙන්ට්ල්මන් පොල්ටික්ස්" කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් "හියුමන් රයිට්ස්" ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා "ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි" ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න...

...උවමනාවෙන් අමතක කළ යුතු දෑ...

ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න...

නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව "පොෂාචාර්යවරුන්ගේ" රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න..

ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න..කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය..එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත...

එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න...

"මැණික්" ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, "අනේ අම්මච්චෝ..හියුමන් රයිට්ස් කෝ" කිය, කියා අඬන්න...

එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, "ඩොලර්" සහ "කෙන්ට්" ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න...

ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න...ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න...

එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න...

මේ "කෝස්" එක අවසාන වන විට ඔබ "පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්" වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත..

නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න...

ඉර හඳ යට - විවෘත මනසකින් බලා විචාරයක්

ඉර හඳ යට........ බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහු එහි වෛද්‍යවරයෙකුගේ සුළු චරිතයක් නිරූපනය කරන සිනමා සිත්තමකි. සමස්ථයක් වශයෙන් කිව යුතු වන්නේ මෙය අසාර්ථකවූ නිර්මාණයක් බවයි. එමෙන්ම එය තහනම් කල යුතු නිර්මාණයක් වශයෙන්ද හැඳින්විය හැකියි.

මෙහි ප්‍රධාන චරිත වශයෙන්,
රඛිත - යුධ හමුදා කපිතාන්වරයා
මහසෙන් - යුධ හමුදා මේජර්වරයා
තිරුබා දේවි - මහසෙන්ගේ බිරිඳ
ආදී වශයෙනි.

මහසෙන්ගේ චරිතය නිරූපනය කරමින් විශිෂ්ට රංගනයක නිරත වන සෞම්‍ය ලියනගේගේ රංගනය හැර සෙසු රංගනයන් පිළිබඳව එතරම් සෑහීමකට පත් නොවිය හැකි බව මාගේ  අදහසයි. 
කපිතාන් රඛිතගේ චරිතය ඉදිරිපත් කරන උදාර රත්නායක තම පෞරුෂය මඟින් එය සිදුකලත් වචන හසිරවීමේදී එය තරමක් මන්දගාමී ස්වරූපයක් ගන්නා බවත් කිව යුතුය.
එමෙන්ම සමහර අවස්ථාවන් වලදී මෙහි නිශ්චිත ආරම්භයක් හෝ අවසානයක් පවා සිතා ගත නොහැකිය. ආරම්භක දර්ශනයේ සිට අවසාන දර්ශනය දක්වා විවිධ අවස්ථාවලදී විටෙක අච්චාරුවක් ආකාරයෙන් මෙය සිනමාපටය පුරාවටම නිරූපනයවේ.

එමන්ම මෙහි සමහර සිදුවීම් දැඩි අස්වාභාවික ස්වරූපයක් පෙන්නුම් කරයි. මේජර් මහසෙන් යටතේ කෝප්‍රල්වරයෙකු සේ සේවය කරන රඛිත එක්වරම කපිතාන් වරයෙකු ලෙස උසස්වීම් ලබයි. කාල පරතරය අනුව ගත්කල එය තරමක ගැටළුවකි.
එමෙන්ම බිම් බෝම්බයකට ගොදුරු වන රඛිත පසුව සාමාන්‍ය පරිදි ගමන් කිරීමට හැකිවන තත්වයට පවා පත්වේ. මෙයද තරමක ගැටළු සහගත තත්වයකි. මෙවැනි තැන් වලදී අධ්‍යක්ෂකවරයාගේ වැරදි සිදුවී ඇති බව මගේ හැඟීමයි.

මෙහිදී දැක්වෙන යුධ ජවනිකා රූගත කිරීම පිළිබඳව තරමක් සෑහීමකට පත්විය හැකි අතර නමුත් එය ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලදු නමුත් ටයිටස් තොටවත්තයන් විසින් සටන් අධ්‍යක්ෂණය කරන ලද "නොමියන මිනිසුන්" සිනමා පටයේ සටන් ජවනිකා මෙන් එතරම්ම තාත්වික නොවන බව පෙනීයයි.
රාත්‍රී සටන් වලදී ඒ බව මැනැවින් පැහැදිලිවේ. තාක්ෂණයෙහි අඩු පාඩු තිබූ මීට වසර 20කටත් ඉහත නිර්මාණයවූ "නොමියන මිනිසුන්" සිනමාවෙහි තිබුනාටත් වඩා සටන් ජවනිකා අති සාර්ථක ලෙස රූගත කිරීමට හැකියාව තිබුනු බව මාගේ හැඟීමයි.

මෙහි එක්තරා ජුගුස්සාජනක සිදුවීමක් පිළිබඳව කිව යුතුමය. ඒ ලුතිනන් සිල්වා විසින් තිරුබා දේවිගේ දෙමව්පියන් ඝාතනය කරන දර්ශනයයි. මා මුලින්ම මෙය තහනම් කල යුතු සිනමා පටයක් ලෙස හැඳින්වූයේද මෙම දර්ශනය හේතුවෙනි.
මේ තරම් සිය ලේ දහදිය වගුරා අප දේශය බේරා දුන් ආදරණීය රණ විරුවන්ට මෙම දර්ශනය මඟින් තරමක අපහාසයක් සිදුවන බව පැවසිය යුතුමය.
එමෙන්ම පසු කාලීනව මෙම දර්ශනය අඩංගු චිත්‍රපටය නරඹන කෙනෙකුගේ සිතෙහි අප රණ විරුවන් පිළිබඳව යම් අපැහැදීමක් ඇතිවීම වළක්වනු නොහී.
මෙහිදී මේජර් මහසෙන්ගේ චරිතය ඉස්මතු කරවීම සඳහා ගෙන ඇති උත්සාහයනම් සාර්ථක නොවේ.
මෙය දිගින් දිගටම තිරගත කරන්නේනම් මෙම දර්ශනය ඉවත්කර හෝ තිරගත කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.

සිනමාවෙහි මුල් කොටසෙහි ඇතුලත් වන්නේ එල්.ටී.ටී.ඊ. අත් අඩංගුවට පත්වන අප රණවිරුවන් හට ඉතාමත් කුරිරු වධ වේදනා පමුණුවන දර්ශන කිහිපයකි. එහිදී යුද්ධයේ යථාර්ථවාදී ස්වරූපය තරමක් පෙන්වා තිබේ. එමෙන්ම එම දර්ශන කිහිපයද ස්වාභාවික ලෙස ගෙන තිබීමත් අගය කල යුතුය.
එමෙන්ම මෙහි එක් අවස්ථාවකදී යුධ හමුදාව මඟින් ත්‍රස්තවාදී කඳවුර අත්පත් කර ගැනීමේදී ඇතිවන සටන් සාර්ථක ලෙස ගෙන තිබීමද අගය කල යුතුය. එහිදී යම් දර්ශනයක් ඉතාමත්ම ස්වාභාවික ආකාරයට ගෙන ඇති බව ඉතාමත් සතුටින් කිව යුතුයි. ඒ අත් අඩංගුවේ සිටි රණවිරුවන් නිදහස් කර ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ ස්වරූපයයි. මෙහිදී වේෂ නිරූපනය දැඩිව අගය කල යුතුයි.

මෙහිදී එතරම් ප්‍රධාන චරිත නොවන පෝල් මාස්ටර් හා භානුගේ චරිතයන් නිරූපණය කරන බිමල් ජයකොඩි සහ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ ප්‍රතිභාපූර්ණ රංගනයයි. ඇත්තෙන්ම පෝල් මාස්ටර්ගේ අමානුෂිකභාවය මෙන්ම, භානුගේ විටෙක දැඩි අමානුෂිකභාවයත්, මහසෙන් මිය යන මොහොතේ සහ කුඩා දරුවා ඝාතනය කරන මොහොතේ පෙන්වනු ලබන හැඟීම් ඉතාමත් විශිෂ්ට ලෙස යොදාගෙන තිබේ.
මෙහි මහසෙන්ගේ මවගේ චරිතය නිරූපණය කරන සුවිනීතා වීරසිංහ ඉතාමත් විශිෂ්ට ලෙස එය තම හැකියාවන් විදහා දක්වයි. 
මෙහි එක්තරා රංගන ශිල්පිනියකගේ හැකියාව එතරම් සාර්ථක ලෙස යොදාගෙන නොමැති බව පැවසිය යුතුය. ඒ මහසෙන්ගේ සොයුරියගේ චරිතය නිරූපණය කරන චාන්දනී සෙනෙවිරත්නගේයි. අප රටෙහි ඕනෑම චරිතයක් කල හකි විශිෂ්ටතම රංගන ශිල්පියකගේ හැකියාවන් මීටත් වඩා යොදාගෙන තිබුනේනම් එය සිනමාවට මහත් ආභරනයක් බව කිව යුතුය. 

චිත්‍රපටියෙහි හමුවෙන එක් දර්ශනයක් පිළිබඳව ඕනෑම කෙනෙකුගේ සිත ඇදී යයි. ඒ රඛිත, සාමා සහ තිරුබා දේවි වැවක් අසල හිරු බැස යද්දී සිටින දර්ශනයයි. එය නිර්මාණකරුවා විසින් ඉතාමත්ම විශිෂ්ට අයුරින් යොදාගෙන තිබේ.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ මෙහි මා මුලින් සඳහන් කල දර්ශනය ඉවත් කර නැවතත් තිර ගත කල යුතු බවයි. නො එසේනම් එය අනාගතය සඳහා මහත් ගැටළුවක් වනු ඇත.
එමෙන්ම මෙහි රෝහණ වීරසිංහයන්ගේ මනා සංගීත කුසලතාවයද සාර්ථක ලෙස යොදාගෙන නොමැති බව පැවසිය යුතුය. 

අප වීරෝධාර රණවිරුවන් අවසාන කල ඒ මහා ම්ලේච්ඡ ත්‍රස්තවාදය අඩංගු මෙම සිනමාව මීට වඩා විශිෂ්ට අයුරින් සිදුකිරීමට තිබුනි. ඇතැම් සංවේදී සියුම් දර්ශන මඟින් වඩා වැඩි යමක් මෙවන් මාතෘකාවක් යටතෙහි නිර්මිත සිනමා පටයකින් ලබා දීමට හැකියාව තිබුනි. නමුත් ඉර හඳ යට මඟින් සිරිලක ඉර හඳ යට වෙසෙන මිනිසුන්ගේ සිත් වලට එතරම් වැදගත්වූ පණිවුඩයක් දීමට අපොහොසත් වූ බවක් කණගාටුවෙන් වුවද කිව යුතුමය.
 

පව්කාරයෝ - 2:- පින් මඳ පුතුනේ

අපේ දරුවන්, අපේ අනාගතය අපේ දරුවන්ය. අපේ රටේ අනාගත මහා විශ්වකර්මයන් අපේ දරුවන්ය. අපේ රටේ අනාගත නායකත්වය අපේ දරුවන්ය.එසේම එදා ඇතැම් පව්කාරයන් අසීමිත ලෙස ශ්‍රමය සූරා කෑමට යොදා ගත්තේත්, අද දින සහ මතුවට යොදා ගන්නේත් අපේ දරුවන්ය.
එයින් කුඩා කලදීම තම කෙළිළොල්විය විනාශවී ගොස් අහිංසක මොළවලට දරාගත නොහැකි මට්ටමේ මානසික පීඩනයකට ලක්වී, වහල්භාවයෙන් නිදහස් වූ විට එම අතිවිශාල මානසික පීඩනය විනාශකාරී ශක්තියක් ලෙස සමාජයට මුදා හරින්නේත් අපේ දරුවන්ය.

ළමා මෙහෙකාර සේවය.
අප රටෙහි පවතින නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු සෑම දරුවෙක්ම පාසැල් යෑම අනිවාර්ය කර ඇත. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමද නෛතිකව තහනම් කරන ලදුව ඇත. එසේ තිබියදී පවා අතැම් බලපුළුවන් කාරයන් විසින් දරු පැටවුන්ගේ අහිංසකභාවය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ හෙට දවස අපගේ හෙට දවස විනාශ කිරීමේ වියරු අරගලයක නිරත වෙති.

ළමා මෙහෙකරුවන් බිහි වන්නේ ඇයි?
මූලික වශයෙන් හඳුනාගත හැකි හේතූන් කිහිපයක් පවතී. ඉන් ප්‍රධානතම වන්නේ අධික දරිත්‍රතාවයයි. එයට අමතරව පහත සඳහන් හේතූන්ද පිළිගත හැකිය.
1. මව විදේශගත වීම නිසා පවුල අසරණ වීම.
2. රැවටීම්වලට භාජනය වීම.
3. පියාගේ බීමත්කම හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.
4. යම් බවලතෙකුට භය හෝ පක්ෂපාතී වීම., යනාදීන්ය.
දරුවන්ට හොඳින් අධ්‍යාපනයක් ලබා දෙන බව පවසමින් ඇතැම් වැදගත් යැයි කියාගන්නා නෝනා මහතුන් ගම්මානවලට ගොස් අහිංසක ගැමි දරු පැටවුන්, ඔවුන්ගේ මාපියන් රවටා කැඳවා ගෙන එති. මෙහිදී දරුවාට කන්න අඳින්න ලැබෙනවානම් කවර යහපතක්දැයි සිතමින් ඒ අහිංසක දෙමාපියන් තම දරුවාව ඒ නෝනා මහතුන්ට භාර දෙති.
පියාගේ බීමත්කම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී තිබීම හෝ එම බවලතාට දෙමාපියන් දක්වන භය හෝ පක්ෂපාතීභාවය නිසාද මෙම කරුණ උත්ප්‍රේරණය විය හැකිය.
මෙයට පහළොස් වසරකට පමණ පෙර බිහිවූ "ගිගිරි වළලු" නම් ටෙලි නාට්‍ය ඔබෙන් ඇතැමෙකුට මතක ඇත. මව විදේශගත වීම නිසා ඇගේ පුතුවූ "සමන්" නම් දරුවාට අයත්වන ඉරණම එහි අඪ්‍යක්ෂකවරයා විසින් මනාව පෙන්වා දෙන ලදී.

නිමක් නොවෙනා කුරිරු මෙහෙවර.
මොහොතක් සිතන්න. මෙම පව්කාරයන් අතින් පිපෙන්නට මත්තෙන් කඩා තලා පොඩිකර දමන අපගේ අහිංසක පැටවුන්ට මොවුන්ගෙන් සිදුවන ගැහැට කෙළවරක් නැත.
අරුණෝදයටත් හෝරා කිහිපයකට මත්තෙන් අවදිවන මොවුන් විටෙක මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරුද තම අසරණභාවය මෙම අධම පව්කාරයන් ඉදිරියේ සෝදාහරිති.
නිවෙස් පිරිසිදු කිරීම, වැසිකිළි පිරිසිදු කිරීම, පිඟන් කෝප්ප පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම යනාදී නිමක් නොවෙනා වැඩ මෙම කුඩා අත් මත තැබීමට මෙම නොමිනිසුන් අමතක කරන්නේ නැත.
යම් හෙයකින් මෙම අහිංසක දරු පැටවුන් අතින් මෙවැනි එක් මෙහෙයක් හෝ මඟ හැරුනුවිට, මොවුන්ට ලැබෙනා ඒ කුරිරු දඬුවම් දුටුවහොත්, ඔබ මනුෂ්‍යත්වය හඳුනන මිනිසෙක්නම්, ඔබේත් මගේත් දෑසට නැඟෙනා කඳුළින් මහමෙර පවා සේදී යනු ඇත.
කම්මුලට වැරෙන් පහර දීම, කෝටු කටු අතු යනාදියෙන් පහර දීම, ආහාර වේල් ගනනින් නොදී නිරාහාරව තැබීම, ශරීරයේ යම් ස්ථානවල කැපීම් සිදු කිරීම, ගින්නෙන් පිළිස්සීම, විදුලි සැර වැද්දවීම වැනි අපරාධ මෙන්ම විටෙක ලිංගික අපයෝජනද, තවත් විටෙක බලෙන් මත් පැන් පෙවීම වැනි අපරාධ මෙම අධර්මිෂ්ට පව්කාරයන් අතින් සිදුවේ.

ආදරණීය මිතුරනි, ඔබ දැනටමත් දරුවෙකුගේ වගකීම් දරනා මවක හෝ පියෙකු විය හැකිය. නැතහොත් අනාගතයේදී එසේ කරන්නෙකු විය හැකිය. ඒ කෙසේවෙතත් ඔබේ දරුවාට යම් පව්කාරයෙකු අතින් මා ඉහත සඳහන් කල අපරාධයක් සිදු වුවහොත් දැනෙන හැඟීම කෙබඳුද?
එසේනම් ඒ අහිංසක දරුවන්ගේ දෙමාපියන් මෙම කුරිරු වේදනා දන්නේනම් ඔවුන්ට ඇතිවන හැඟීම කෙබඳුද?
යම් හෙයකින් ඒ අහිංසක දරුවන් දෙමාපියන් මියගොස් සිටිනා දරුවන් නම්?
කිසිවෙකුගේ ආදරය, දයාව නාඳුනනා නිරයක අපමණ වේදනාවන් විඳීමට ඉඩ හළ යුතුද? 

බිහිසුණුය ප්‍රතිඵල.
මේ අහිංසක දරු පැටවුන් කුඩා කල විඳිනා ඒ මහා දුක් කඳ, ඒ වේදනාව චිත්ත පීඩනයක්වී කුඩා මනසේ තැන්පත්වේ. දිනෙන් දින වැඩිවන අධික මානසික පීඩනය ඒ කුඩා පැටවුන් කෙසේහෝ විඳ දරාගෙන සිටිති.
නමුත් ඔවුන් සෑම දිනම කුඩා උන් සේ සිටින්නේ නැත. දිනෙක එම වහල්භාවයෙන් නිදහස්ව, සමාජයට පිවිසෙන විට, කුඩා කල තමාට ඇතිවූ එම කායික, මානසික වේදනාවන් සිතෙහි කැකෑරෙමින් මහත් විනාශකාරී ශක්තියක් බවට පත්වෙමින් තිබේ. මේ සමාජයට ඔවුන් මුදා හරින්නේ එම විනාශකාරීවූ ශක්තියයි.
මේ හේතුවෙන් සොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, ගණිකාවුන් ආදී විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වන්නන් බිහිවේ.සමාජයට ගැටළුවක්වූ බොහෝ පාතාල කල්ලි සාමාජිකයන්ගේත්, සොරුන්ගේත්, අපරාධකරුවන්ගේත් ළමාවිය ඉතා දුක්ඛිතය.
ඔවුන් සමාජයට මුදා හළ ඒ මහා විනාශකාරී ශක්තියෙන් සිදුවූ විනාශය ඔබේත් මගේත් නෙත් ඉදිරිපිට දෘශ්‍යමානවේ.
යම් හෙයකින් මොවුන් රැක ගත්තේනම් මතු දිනයක දක්ෂ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ආදී අප දේශය බබලවන්නන් වනු ඇතැයි කිව නොහැකිද?

ගැටළුවට පිළියමක් ලෙස.
මා මෙහිදී මූලික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමි. ඒවානම්,
1. දරිද්‍රතාවයන් අධික පවුල් නඟා සිටුවීම සඳහා ව්‍යාපෘතීන් සැලසුම් කිරීම.
2. මානව උපදේශන මධ්‍යස්ථාන ඇති කිරීම.
3. මෙවැනි තත්වයට පත්වන දරුවන් පුනරුත්තාපනය කිරීම සඳහා න්සි පුහුණුකරුවන් සහිත රැඳවුම්හල් ඇති කිරීම. මොවුන් මනුෂ්‍යත්වය ප්‍රගුණ කල තැනැත්තන් විය යුතුයි.
4. අනාථ නිවාස වල තත්වයන් සොයා බැලීම. බොහෝ අනාථ නිවාස තුලදීද දරු පැටවුන් විවිධ අකටයුතුකම් වලට භාජනයවේ. සමලිංගික සේවනය ඒ අතරින් ප්‍රධානයි. මේවා නැති කල යුතුයි.
5. පාසල් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් හෝ කවර මට්ටමකින් දෙනව්පියන් සහ දරුවන් මේ මහා ව්‍යසනය පිළිබඳව සහ ඉන් ඇතිවන අනිසි විපාක පිළිබඳව දැනුවත් කල යුතුයි. 
6. මත්ද්‍රව්‍ය ආදීන්ට ඇබ්බැහිවූ පියවරුන් සහ දරුවන් පුනරුත්තාපනය කල යුතුයි. ඒ සඳහා අදාල පරිවාසාගාර ඇති කල යුතුයි.
7. කිසිදු ආකාරයකින් තරාතිරමක් නොබලා වරදකරුවන්ට දැඩි දඬුවම් පැනවිය යුතුයි. එමෙන්ම ඒවා මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය කරන්නේනම් වඩාත් සාර්ථකය.

නමුත් වාසනාවකට මෙන් වර්තමාන යුගයේදී මෙවැනි සිදුවීම් මීට වසර 5කට පමන එහා තරම් ඇසෙන්නේ නැත. නමුත් අප විමසුල්ලෙන් පසු විය යුතුයි.

අපේ අනාගත පරපුර, අපේ රත්තරන් දරු පැටවුන් රැක ගැනීම ඔබේත්, මගේත්, අප සියල්ලන්ගේත් යුතුකමයි, වගකීමයි. නෛතිකව පවා තහනම් කල මෙම සාපරාධී ක්‍රියාව නීතියේත්, පොලිසියේත්, ඔබේත්, මගේත්, අප සියල්ලන්ගේත් ඇස් වලට වැලි ගසා විටෙක සදෘශ්‍යමානවත්, විටෙක අදෘශ්‍යමානවත්, එදාත් අදත් සිදුවේ. අප මෙම ව්‍යසනය නතර කිරීමට උර නොදේනම් හෙටත් මෙය සිදුවේ.

මා ගීතයකින් මගේ සටහන අවසාන කරමි. මීට විසිපස් වසරකටත් පමන පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතය ගායනා කරන ලද්දේ විජය කුමාරතුංගයන්ය.

පින් මඳ පුතුනේ ඉඳුල් සිඟායන
නුඹේ කඳුළකින් ලොවම දකින්නෙමි
නුඹේ කෙඳිරියෙන් ලොවම අසන්නෙමි

සයින් තබා නුඹ තොල ගානා මධු
ගිනි වතුරක්වී නහර දවාවා
නුඹ නිරුවත් කර පළඳින සළු පිළි 
කටු අකුළක්වී සිරුරෙ ඇනේවා

දෙපයක් පළසේ දෙපයක් පොළොවේ
කිම එක තලයක අප නොසිටින්නේ
ලොව කොතැනකහෝ වරදක්වී ඇත
කිම ඒ නිවැරදි මඟ නොපෙනෙන්නේ