Wednesday, August 25, 2010

පව්කාරයෝ - පිවිසුමක්........ -අමල්ගේ කතාව

දරුවන් අහිංසකය. ඉපදුනු මොහොතේ කුඩා කිරි කැටියෙකු ලෝකය සම්බන්ධව කිසිවක් නොදනී. ක්‍රමයෙන් වැඩෙත්ම ඔවුන් යන්තමින් සමාජය ස්පර්ශ කරමින් තම අනුගාමිකයන් අනුව මූලික අවධියේ අනුකරණයෙන්ද, පසුව ස්වකීය අනන්‍ය වූ චින්තනයකින්ද යුතුව ජීවන ගමන අරඹති. කිසිදු අවස්ථාවක දරු පැටවෙකු ඉපදුනු මොහොතේ ඔහුගේ ඉරණම තීරණය කරන්නේ නැත. බොහෝ අවස්ථාවන්හිදී එම දරු පැටවාගේ අනාගත භූමිකාව තීරණය කරනු ලබන බලවේගයක් පවතී. එම බලවේගය වන්නේ අප සමාජයයි. දරු පැටවා අනාගතයේ දක්ෂ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, විද්‍යාඥයෙකු බවට පත් කරන්නේද, දරුණු මිනීමරුවෙකු, අපරාධකරුවෙකු මෙන්ම ස්ත්‍රී දූෂකයෙකු වැනි සමාජයට බරක් වන චරිත බවට පත්කරන්නේද සමාජයයි. එමෙන්ම යම් කම්පනයකට භාජනය කර එම පැටවුන්ගේ අනාගතය මුළුමනින්ම විනාස කරනු ලබන්නේද සමාජයයි.
<span> </span>පහත දැක්වෙන්නේ මනකල්පිත කතාවකි. එමෙන්ම මෙය සිදුවීම් බොහොමයක් අලලා මවිසින් එක් සිද්ධියක් ලෙස දක්වා ඇත. මෙහි බොහෝ සිදුවීම් සත්ය ඒවාවේ.

"අමා...........ල්! උඹ කොහෙද ඉන්නෙ?"
මෙපමණ වෙලා කල්පනා සයුරේ ගිලෙමින් සිටි අමල්ට නෝන හාමුගේ හඬ ඇසුනේම නැත. කොස්සක් අතේ තබාගෙන මන්දිරයේ ඉස්තෝප්පුවට වී සිටි අමල්ගේ කල්පනා ලෝකය නෝනහාමුගේ "කාරුණික වචන" හමුවේ සුනුවිසුණුවී ගියේය.
"මේ එනවා මැඩම්"
"කොහෙද යකෝ උඹ මෙච්චර වෙලා හිටියෙ?"
"ඉස්තෝප්පුව අතු ගෑවා මැඩම්"
"දැන් පැයක් විතර තෝ ඒකද කරන්නේ?" එවර හාමු ඇසුවේ අමල්ගේ කම්මුල මත වේගයෙන් තම ගොරහැඩි අත පහත් කරමිනි.
අමල්ගේ දෙතොලග පිපිරී ලේ බිඳු කිහිපයක රස යන්තමින් ඔහුට දැනුනි. නිතරම මෙවැනි පීඩාවන්ට මුහුණදී සිටි එකොලොස් හැවිරිදි අමල්ට එහි අමුත්තක් නොවීය. නමුත් දරාගත නොහැකි වේදනාවෙන් කුඩා කඳුළු වැලක් දෙකොපුළින් ගලා ගියේය.
"ඔතන උලමෙක් වගේ ඉන්නෙ නැතිව ටොයිලට් එක හෝදලා බල්ලගෙ කූඩුව අතුගාපන්!"
ලැබුනු අණ වහා ක්‍රියාත්මක කල යුතුය. නැත්නම් මීටත් වඩා හිරිහැර ලැබේ.

අමල් පාසලට ආයුබෝවන් කීවේ මීට වසරකට පෙරය. පහේ පන්තියේ විභාගයට ඉඳලා ආ බව මතක තිබේ. ඒකෙන් හොඳට සමත්වූ බව කියා ඉස්කෝකෙ මහත්තයා ලියුමක් එව්වත් බාප්පා එතනින්ම අමල්ගේ ඉස්කෝලෙ ගමන නැවැත්වීය. බාප්පාට ඕනෑ වූයේ සල්ලි. හැමදාම කොහෙටදෝ ගිහින් මොනවදෝ බීලා ඇවිල්ලා අමල්ටයි, අම්මටයි, අක්කටයි හරියට ගහන එක බාප්පාගෙ අනිවාර්ය දෙයක්. ඔය අතරෙ තමයි ලොකු මහත්තයෙක්ගෙ ගෙදරකට වැඩට ළමයෙක් ඕනි කියලා ආරංචි වෙලා අමල්ව එතන නැවැත්තුවේ. පොඩි කාලෙම බාප්පා අක්කව අමල්ට නොපෙනෙන්න වෙන කාමරේකට ඇදගෙන යන අයුරුත් ඊට පස්සෙ අක්කා විලාප දෙනවා අමල්ට තාම මතක තිබේ.

මන්දිර ගෙදර ජීවිතය ඊටත් වඩා අමල්ට දරුණු විය. ගිනිපෙළෙල්ලෙන් පිළිස්සීම, සිහි නැති වන තුරු හිස බිත්තියේ ඇනීම, වේවැලෙන් පහර දීම වගේ වේදනා මඟින් අමල්ගේ ජීවිතයට අඩුවක්නම් නොවීය.
එමෙන්ම දිනක් උත්සවයකදී මහත්තයාගේ මිත්‍රයෙක් කරපු දේ මතක් වෙත්ම අමල්ගේ ඇඟ කිළිපොළා ගියේය. මත් වතුරින් මත්වෙලා සිටි ඒ නරුම මිනිසා අමල්ව බලෙන් ඇදගෙන ජීප් එකක දමාගෙන අඳුරු කාමරයකට ගිය හැටිත් ඊට පස්සේ....... ඒ නරුමයා තම පව්කාර දෙතොල් වලින් අමල්ගේ ළපටි දෙතොල්, අමල්ගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කල සැටිත්, ඒ පව්කාරයා අමල් කෑගසන අතරේ අමල්ට කියා ඒ නරුමයාගේත් එසේ කරගත් ඒ මූසල අත්දැකීම මතක් වෙත්ම අමල් සිහිනයෙන් බයවී කෑගසයි. එවිට දිව එන හාමුගෙන්නම් අමල්ට අඩුවක් නැතිව වේවැල් පාර ලැබේ.

තවත් මසක් ගෙවී ගියේය. එදින බාප්පා නිවසට ආවේ අවුරුද්ද සඳහා අමල්ව සතියකට ගෙදර ගෙන යෑමටයි.
"කොල්ල හරි මුරණ්ඩුයිනෙ ඩේවිඩ්. දැන් ඉතින් මූව ගන්න එකත් හිතලා බලන්න ඕනි."
එවිටම ඩේවිඩ්ගෙන් අමල්ට ලැබුනේ වේගවත් කම්මුල් පහරකි.
"ඇත්ත කියපන්. තෝ මොකද මෙහෙ කරේ? තොට ආයෙත් මෙහෙ ඉන්න බැරිද?"
බාප්පාගේ ගොරහැඩි අතට බයවූ අමල්,
"අනේ මම ඉන්නම් බාප්පේ. ගහන්න එපා." අමල්ගේ ඇස්වල කඳුළු තිබුනි.
"අනේ මැඩම් මේකා මීට පස්සෙ හොඳට ඉඳීවි."
"එහෙනම් කමක් නෑ. තව ටිකක් බලමුකෝ......"

එදින නම් අමල් අම්මාගෙ තුරුලේ සුව නින්දක් ලැබුවේය. අක්කා? අක්කා දන් නිදා ගන්නෙ බාප්පා එක්ක. කුඩා වුනත් මේ දේ තේරුම් ගැනීමට අමල්ට හැකියාවක් තිබුනි. අක්කා ගෙනියන්න දවල්ට ලොකු වාහන වලින් මහත්තුරු එනවා. ඒත් අක්කට තවම අවුරුදු 15යිනේ. අක්ක මොනවද කරන්නෙ..... අමල් කුඩා කල අසා තිබූ ලෝකයේ නරකම රස්සාව මතක් විය. ගණිකාවෝ..... අක්කා ගණිකාවක් බව අමල්ට තේරුම් ගියේය.
පහුවදා ඉර වැටුනි. අමල් සෙමින් සෙමින් අම්මා ලඟට කිට්ටු විය.
"අම්මේ......."
"ඇයි මයෙ පුතේ?"
"මට ආය බංගලාවෙ යන්න බෑ අම්මෙ........"
අම්මා අමල් දෙස බැලීය.
"නෝන හාමු මට හරියට වද දෙනවා අම්මෙ. මේ බලන්නකෝ....." අමල් තම කමිසය ගලවා අම්මාට පෙන්වීය.
සංවේදී හදවතක් ඇති කෙනෙකුට බැලිය හැකි දෙයක් නොවෙයි ඒ.... පිට පුරාම කෝටු පාරවල්. සමහර තැන්වල පුළුස්සලා. අම්මා ක්ලාන්ත නොවී බේරුනේ දැඩි අසීරුවෙනි. ඒ මොහොතේ වයලට් අම්මාට කල හැකි වූයේ තම පුතු තුරුළු කරගෙන මහමෙර පවා සෙලවෙන ලෙස හැඬීම පමනි.
පහුවදා අම්මා බාප්පා එක්ක රණ්ඩු වූයේ මේ හේතුවටය.
"අමා......ල්! මෙහෙ වරෙන්."
"ඇයි උඹ ආපහු යන්න බෑ කියන්නෙ?"
"නෝනා මට හරියට ගහනවා බාප්පෙ. අනේ ආය මට යන්න බෑ. මාව යවන්න එපා බාප්පෙ....." අමල් ඩේවිඩ්ගේ දෙපා අල්ලා ගනිමින් කියු දෙයට කන් දීමට තරම් මනුෂ්‍යත්වයක් එම නරුම මිනිසාට නොවීය.
වහා එල්ලවූ පා පහරින් අමල් විසිවී වැටුනි. ඩේවිඩ් පහර දීගෙන ගියේය. වහා දිව ආ වයලට්,
"තෝ මයෙ කොල්ල මරනවානම් ඊට කලින් මාව මරාපිය."
ඩේවිඩ් අමල් අත හැර වයලට්ගේ ගෙල මිරිකන්නට වූයේ යම් කිසි උමතුවකින් මෙනි. අමල්ට කල හැකි දෙයක් නොවීය. නමුත් අසල ඇති කඩුව ඔහු දුටුවේය. එය රැගෙන ගොස් ඩේවිඩ්ගේ ගෙල හරහා දුන්නේ එක් පහරකි. කිසිදු කතාවක් නොමැතිව ඩේවිඩ්ගේ හිස කඳින් වෙන් වුනි. වයලට්ට සිහි නැති විය.

සියල්ල වෙනස් වන්නට වූයේ එතැන් සිටය. අමල් වසර 10ක් සඳහා පරිවාසගත විය. උපතින්ම දඟකාර ආකර්ශනීය පෙනුමක් තිබූ නිසා එහිදීත් අමල්ට සිදුවූයේ කාගේත් ඇඟේ හිරි ඇර ගැනීම සඳහා තම ළමාවිය බිළිදීමටය. කල් යත්ම අමල්ද ක්‍රමයෙන් ඒවාට අනුගත විය. පරිවාස කාලය නිම වෙත්ම අමල්ට මෙවැනි ආශ්‍රයන් නොමැතිව එක් දිනයක් හෝ සිටිය නොහැකි විය.

 අමල් පරිවාසය නිමවී නැවත ගෙදර පැමිනියේ දස වසරකින් නුදුටු අම්මා දැක ගැනීමටයි. තමා බැලීමට අම්මා කිසි දින නොපැමිනීම අමල්ට මහත් දුකක් විය.

 පිට කොටුවේ සිටි උමතු ගැහැණිය දුටු අමල් ඈ මින් පෙර කොහේදී හෝ දැක තිබෙන බවට මතක් විය. 
ඇයි මේ අම්මා නොවේද? අමල්ගේ අම්මා....... දැන් උමතු ගැහැණියක් වෙලා......... 
අමල් සෙමින් ඇය අසලට සමීප විය........
"අම්මේ......... මගෙ අම්මේ............."
වියරු ගැහැනිය අමල් දෙස රවා බැලීය. ඈ උමතුවෙන් අමල් වෙත කඩා පැන්නීය.
"මෙන්න මිනී මරණවා. මූ මිණී මරණවෝ............" ඈ යටි ගිරියෙන් විලාප දෙන්නට විය..........
කොතෙක් පහදා දුන්නද අමල්ට ඈ ගෙන යෑමනම් කල හැකි දෙයක් නොවීය.

අමල් ගෙදර ගොස් බැලූ විට දැන ගැනීමට ලැබුනේ දැන් එය ප්‍රධාන ගණිකා මධ්‍යස්ථානයක් බවයි. අමල්ගේ අක්කා ප්‍රදේශයේ නම ගිය ගණිකාවක්වී සිටියාය. කුඩා කල සිටම "අවජාතක" යන නමින් කුප්‍රකට පවුලක් වූ එහි එවැනි වාතාවරණයක් නිර්මාණය නොවී තිබුනේ නම් මුඩුක්කු පරිසරයෙහි එය මහත් මවිතයට කරුණක් විය.

එක්වරම ඩේවිඩ්ගේ ගෝලබාලයන් කිහිප දෙනෙකු විසින් අමල් වට කර ගත්හ.
ඔවුන්ගෙන් එකෙකු අමල්ගේ කම්මුල හරහා වේගවත් පහරක් එල්ල කොට පැවසූයේ, 
"ආ..... ලොක්කා...... නැට්ටට කිරි උරන්නත් කලින් උඹ පොරක් වුනා ඈ.......... ඩේවිඩ් අයියා මරපු එකට අද උඹව කම්බස් කරනවා.........."
සමාජමය පීඩනයෙන් මේ වන විටත් අමල් හොඳින් පදම් වී සිටියේය. එ නිසා තමාට පහරක් එල්ල කල තැනැත්තාට මරු පහරක් එල්ල කිරීම ඔහුට අසීරු නොවීය.
ඒ සමඟම අනික් ගෝලයන් අමල් වට කර ගත්තත් ඔවුන්ගෙන් බේරී ඔහු කෙසේ හෝ පැන ගැනීමට සමත් විය. නමුත් නීතියෙන් පැන යෑම කල නොහැකි විය.

කටුක අත්දැකීම් වලට මුහුණ දීමටම උපන් අමල්ට සිපිරිගෙය අමුත්තක් නොවීය. එමෙන්ම එක් අතකට මෙය ඔහුගේ නව ජීවිතයකට මුල් පිරීමක්ද විය. ඩේවිඩ්ගේ ගෝලබාලයන්ගෙන් ආරක්ෂා වීමට අන් මඟක් ඔහුට නොවීය. එනිසා ඔහුගේ තේරීම වූයේ පාතාල ලෝකයයි............
සිපිරි ගෙදර තුල හමුවූ පොට්ට රංජි, කුඩු සමන්, වත්තේගම සුද්දා ආදී පාතාල සාමාජිකයින්ගෙන් අමල් මත්ද්‍රව්‍ය, අවි ආයුධ, මංකොල්ලකෑම්, මිනී මැරුම් ආදිය පිළිබඳ හොඳින් උගත්තේය. නමුත් බන්ධනාගාරය තුලදී යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා ඉක්මනින්ම ඔවුන්ට නිදහස ලැබුනි.

ඇතුලේ සිටියදීත් කලින් පුරුදු වූ සමලිංගික ක්‍රියාවන් පිටතට පැමිනි පසුත් ඔහුට නැතිවම බැරි විය. අමල් ළමා අපචාර සඳහා යොමු වූයේ කුඩා කල බීමත් පව්කාරයෙකුගෙන් වූ අපරාධයට යළි යළිත් පණ දීමෙනි. කුඩා කල බාප්පා අක්කාට සිදු කල අපරාධ දුටු ඔහු පසුව ගණිකාවන් පසුපස යෑමද නොකඩවා සිදු කලේය. එමෙන්ම මත්ද්‍රව්‍ය, මත්පැන් ඔහුගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංග විය. තමා කුඩා කල විඳි ශාරීරික වේදනා මතක් කරමින් පසු කාලවලදී අත් අඩංගුවට පත් විරුද්ධ කල්ලි වල සාමාජිකයින්ට සිදු වූයේ නිමක් නොමැති වේදනාවන්ට භාජනය වීමටයි. අමල් මේවන විටත් දරුණු පාතාල නායකයෙක්ව සිටියේය.

කවරක් වුවත් නීතියට හරස් විය නොහැකිය. මේ වන විටත් මිනී මැරුන් ගනනාවක් කර තිබූ අමල් පොලිස් දැලට හසු විය. උසාවිය මඟින් කල වැරදි සලකා බලා ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරිනි. මෙහි විශේෂත්වයක් තිබේ. ඔහු දහසක් වධ දී මරා දමා තිබුනේ කුඩා කල ඔහුව කෙළෙසා දමා විනාශ කල ඒ අධම මිනිසාය.
 නඩුව නිමා විය. තීන්දුව ලැබුනි. එදෙස බලා සිටි අධම මිනිසාගේ දියණිය පැවසූයේ,
"උඹ මගේ තාත්තා මරා දැම්මා. දැන් අපායට ගිහින් විඳවපන්, පව්කාරයා!" ලෙසය.

ඒ වචන පෙළ අමල්ගේ යට ගිය ආත්මයම ඔහුට මතක් කර දීමට සමත් විය. ඔහු හිස එසවූයේය. තම තියුණු ස්වරය අවධි කලේය........
 "නෑ............ මාව පොඩි කාලෙ විනාස කලේ ඒ මිනිහා........! උඹේ තාත්තා....... මගේ ළමා කාලය මට නැති කරලා මගේ ජීවිතේ විනාස කෙරුවා......... ස්වාමිනී මේ මිනිහා මේ මිනිහගේ පව් ඇරියෙ මගේ කර මතින්.......... මට එතකොට වයස 11යි. මුන් මගේ ජීවිතේ විනාස කරා................ ස්වාමිනී මාව මරා දාන්න......... ඒත් මම පව්කාරයෙක් නෙවේ ස්වාමීනී............. මම නෙවෙයි පව්කාරයා........ උඹේ තාත්තා.......... මාව විනාස කරපු පව්කාරයා..............." 
අමල්ගේ හඬ නෑසී ගියේ වේගයෙන් පැමිනි උණ්ඩයක් ඔහුගේ ළය පසා කරගෙන ගොස් ලේ විලක් මැද වැටීමෙනි. උසාවිය නොසන්සුන් විය...............

ආදරණීය මිතුරනි, මා මෙතෙක් වෙලා අමල් කෙනෙක් බිහිවන අයුරු ඔබට විස්තර කලෙමි. පව්කාරයෝ ආරම්භක සටහනක් වශයෙන් මෙය යොදා ගත්තේ මා විසින් මතු සටහන් තැබීමට අදාල වන මාතෘකා සියල්ල ආවරණය වන පරිදිය. අප සියළුම දෙනා වග බලා ගත යුත්තේ මෙවැනි සමාජ අසාධාරණයන්ට ලක්වී දරුණු අපරාධකරුවන් බවට පත් වන දරු පැටවුන් ඒ මාර්ගයන්ට අවතීර්ණ වීමට පෙර ඒවා වසා දැමීමයි. ඇත්තෙන්ම එය අප රටේත්, අප අනාගතයේත් ඉරණම වනු ඇත........

No comments:

Post a Comment