Friday, August 27, 2010

පව්කාරයෝ - 1.1:- නොතලන් මල් කැකුළු - ළමා ලිංගික අපයෝජන.


උදෑසන පිනි බිඳු විසිරී තිබුනු මල් කැකුළක්........ ලෝකයට විකසිතවී මඳ පවනට නැලැවෙමින් සුවඳ විහිදුවීමට පෙරුම් පුරමින් සිටි මල් කැකුළක්........ තලා පොඩි කිරීමට මාන බලමින් සිටි පව්කාරයෙකු අතින් විකසිත වීමට ඉඩ නොදී තලා පොඩිකර විනාස කර දැම්මා...... 

මේ මල් කැකුළට අත්වූ ඉරණම වර්තමානය වනවිට අප දේශය අනාගතයේ භාර ගැනීමට පෙරුම් පුරමින් සිටින සිඟිති පැටවුන්ට, ගැටවරයන්ට මා මේ සටහන ලියන මොහොතත්, ඔබ මේ සටහන කියවන මොහොතේත් කවර ආකාරයකින් හෝ සිදු වන බව ඔබ දන්නවාද?..... ආදරණීය අම්මේ තාත්තේ, මා මින් ඉදිරියට ලියන සටහන් ඔබ වෙනුවෙනි. අද දින අපගේ මල් කැකුළුවන් දරු පැටවුන් රැක ගත් විට, හෙට දින, ඔවුන්ගෙන් පසු විකසිත වන අපේ පැටවුන්ට මේ ලෝකය අද දිනට වඩා සොඳුරු ලෝකයක් වනු නිසැකය. ඉතින් ඒ සඳහා අපි මේ මොහොතේ සිට පෙළ ගැසෙමු. සටහන ඇරඹීමට අවසරයි............

මිනිසා, මනස අනෙකුත් සතුනට සාපේක්ෂව උසස් ලෙස තම චින්තනය තුල, මුල් බැසගෙන පවතින නිසා මෙනමින් හඳුන්වනු ලබයි. අනිකුත් ජීවීන්ට රාගය යනු බොහෝ විට තම වර්ගයා බෝ කර ගැනීම සඳහා සොබාදම් මෑණින් විසින් දායාද කරන ලද්දකි. ඔවුන්ගේ ලිංගික එක්වීම එතැනින් නිමවේ. 
නමුත් මිනිසා....... බොහෝවිට උඩු සිත මඟින් සන්සුන් ස්වභාවයක් පෙන්වූවද යටි සිත මඟින් දැඩි ලිංගික කැළඹීම් සහිතව තම උඩු සිත ඉතාමත් අසීරුවෙන් පාලනය කරගෙන සිටී. නමුත් සමහර අවස්ථාවන්හිදී එය එසේ නොවේ. කවරෙකු කවර ආකාරයකින් කවර ලිංගික සම්බන්ධයක් පැවැත්වුවත් එය මා මෙහිදී අවධානයට ලක් කරන්නේ නැත. පරිණාමිකව අනික් සතුන්ට වඩා දියුණු යැයි කියා ගන්නා මිනිසා විටෙක තම දරුවන් සමඟ පවා ලිංගික සම්බන්ධතා පවත්වයි. සැබැවින්ම මෙවැනි අවස්ථාවන්හිදී මිනිසා අන් ජීවීන්ට වඩා පරිණාමයක් නොව අවපරිණාමයක් වී පවතින බව විමසිය යුතු කරුණකි.

ආරම්භය......
ළමා ලිංගික අපයෝජනය... ඔබ බොහෝ දෙනෙකුගේ දෙනෙත් තෙත් කරන, ඇතැම් විට දැඩි කම්පනයට පත්වන මාතෘකාවකි. බොහෝවිට නූතන සමාජය තුල මෙවැනි මාතෘකාවක් සාකච්ඡා කිරීම පවා අසීරුය. සත්‍යය මෙයයි.
මෙය කවර මොහොතක, කවර ස්වරූපයෙන් සිදු වේදැයි කිසිවෙකුටවත් ස්ථිර අදහසක් ගත නොහැකිය. අප රට සම්බන්ධව කතා කරොත් දිනපතා සිදුවන මෙම පව්කාර ක්‍රියාවන් සමස්තයක් ලෙස ගත් කල 80%කටත් වඩා සමාජයෙන් වසන්වේ.
මෙම ක්‍රියාව සඳහා නිශ්චිත ස්ථානයක් නොමැත. විටෙක එය මහමඟදීද, විටෙක පාසලේදීද, විටෙක ක්‍රීඩාගාරයකදීද, විටෙක ඔබේ නිවසේ රහසිගතවද, විටෙක ඔබ ඉදිරියේ දරුවාට ආදරය කරන මුවාවෙන් වෙනත් පව්කාරයෙකු අතින්ද මෙම පව්කාර ක්‍රියාව සිදු විය හැකිය.
එමෙන්ම ඔබේ දරුවාගේ වයස අවුරුදු 12-16 අතරනම් වහාම ඔබේ දරුවා මෙම කාමාතුරයන්ගේ ඇස් වලින් ආරක්ෂා කර ගැනීමට මේ මොහොතේ පටන්ම ක්‍රියා කරන්න. අප රට තුල වැඩි වශයෙන්ම ලිංගික අපරාධ සඳහා ගොදුරු වන්නේ මෙම වයසේ ළමුන්ය, ගැටවර ගැටවරියන්ය. එමෙන්ම දුප්පත් පන්තිය තුල මෙම අපරාධ වැඩිපුරම සිදුවේ.


ලිංගික අපරාධ ඇති වීමට හේතු
1:- දෙමාපිය දූ දරු සම්බන්ධය නොමැතිවීම - වර්තමානය වනවිට පවතින දැඩි ආර්ථික ගැටළු නිසා බොහෝ දෙමව්පියන් මුදල් පසු පස හඹා යාමට පුරුදුවී සිටිති. එවිට ඔවුන්ට දරුවන්ගේ ලෝකය පිළිබඳව එතරම් හැඟීමක් නැත. දරුවා ගොදුරුකොට ගැනීමට මාන බලමින් සිටින අධම පව්කාරයින්ට මෙය මහත් අස්වැසිල්ලකි. ඔවුන් වහා ක්‍රියාත්මක වෙති. මේහා සම්බන්ධව පවතින තවත් කරුණු දෙකක් වන්නේ මව එතෙර රැකියාවට යෑම සහ පියාගේ බීමත්කමයි. මත්ද්‍රව්‍යද මෙවැනි ක්‍රියාවන් සඳහා මැනැවින් රුකුල් වේ. දැන් මෙම උදාහරණ බලන්න. මව විදේශගත වූ අවස්ථාවකදී බීමතින් පැමිනි අධම පියෙක් විසින් තම දියණිය දූෂණය කලේ, "අනේ බොල තෝ මෙච්චර ලස්සන බව මම දන්නේ නෑ" යැයි කියමිනි. පසු කලෙක මෙම දියණියට දරුවෙක්ද ලැබුනි.
එමෙන්ම බීමත්කමට ඇබ්බැහිවූ තවත් පව්කාරයෙකු මුදල් ලබා ගැනීමට තම දියණියන් දෙදෙනා විකුණමින් සිටියේය. එමන්ම එම ජඩයා විසින් ඔවුන් දූෂණය කලේ "මම වදාපු ගහේ ගෙඩි මම අනුභව කලාට මොන වරදද" යැයි කියමිනි. ජුගුස්සාජනක වුවත් යතාර්ථය එයයි.
2:- නූතන මාධ්‍යමය පෙළඹවීම් - මේ ගැන වැඩි විස්තරයක් කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි. මක්නිසාද යත් ඔබ නරබන ඇතැම් රූපවාහිනී නාලිකා මගින් මෙය ඔබටම දිස්වන නිසාය. චින්ති වැනි ජාතියේ පවට පහලවූ අධමයෙකුගේ ගීත බැලීමෙන් අප දරු පරම්පරාව මේ තරමින්හෝ බේරී සිටීම සම්බන්ධව සැබැවින්ම ඔබ සතුටු විය යුතුය. එමෙන්ම අපගේ වාසනාවට තහනම් කරන ලද "අක්ෂරය" නම් සමාජ පිළිකාව තුල පවතින මවකගේ සහ පුතෙකුගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම සමාජගත වූවානම් වර්තමාන තත්වය ඉතාමත් භයානක වීමට ඉඩ තිබුනි. මව සමඟ සංවාසයේ යෙදෙන නින්දිත පුතුන් වර්තමානයේ අප රට තුලද සිටී. සත්‍යය මෙයයි. එවැනි මවකට හා පුතෙකුට වෙඩි තබා ඝාතනය කල පසු උමතුවූ පියෙකු මා සැබැවින්ම දැක තිබේ. ඔබ පිළි ගැනීමට අකමැති වුවත් සැබෑ වාතාවරණය එයයි.
3:- නිල් චිත්‍රපටි, සඟරා, අන්තර්ජාලය - මේවා සියල්ලන්ගෙන්ම සිදු කරනු ලබන්නේ ලිංගික පෙළඹවීම් ඇති කිරීමයි.


මේවා වසන් කරන්නේ ඇයි?
බොහෝවිට මෙම අපරාධ සිදු වන්නේ නිවස හෝ ඊට ආසන්න තමන් දන්නා හඳුනන ස්ථානයකය. මෙම අපරාධය අවාට සමාජය දැන ගැනීමෙන් තමන්ට විශාල අවමානයක් සිදුවනු ඇතැයි දෙමව්පියන් සිතන අතර එනිසා බොහෝදුරට මෙය වසන්වේ. එමෙන්ම අපරාධය සිදුකල තැනැත්තාගේ බලය නිසාද මෙය සිදුවිය හැකියි. 


මෙම පවුල්වල ලක්ෂණ:-
මේවා බොහෝවිට සිදු වන්නේ පන්ති වශයෙන් ගත් කල දුගී සහ ඉහළ පන්තියේ දරුවන්ටය. මධ්‍යම පාන්තිකයන්ගේ පවුල් අතර මෙවැනි සිදුවීම් සාපේක්ෂව අඩුය. ඉහත සඳහන් පන්ති 2 අතරිනුත් දුගී පන්තිය තුල මෙවැනි අපරාධ බහුලවම සිදුවේ. දැන් ඒ එක් එක් පන්තියට අදාලව මෙම කරුණ විමසා බලමු.
1. දුගී පන්තිය:- බොහෝවිට වතුකර ජනතා දරුවන් අතර මෙවැනි චර්යාවන් බහුලව සිදුවේ. ඉතාමත් කුඩා වයස්වල දරුවන් පවා වතුවල දුම් බිබී සිටිනු දැකිය හැකිය. එමෙන්ම මොවුන්ගේ දෙමව්පියන් මොවුන් පිළිබඳව සොයා බලනවාත් අඩුය. බොහෝවිට කිසිදු ආකාරයක ආගමික නැඹුරුවක් මොවුන් තුල දක්නට නොලැබේ.
2. ධනවත් පන්තිය:- අපරිමිත ලෙස දරුවන්ට නිදහස ලබා දී තිබේ. දරුවන් සිටින්නේ කා සමඟද, ඔවුන්ගේ ක්‍රියාවන් මොනවාද යන්න දෙමව්පියන් එක්කෝ සොයා බලන්නේ නැත. එක්කෝ ගනන් ගන්නේ නැත. 
මෙම පන්ති 2 තුල මෙවැනි අපරාධ බහුලව සිදුවේ. නමුත් ගුරුවරුන්, රාජ්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන් ආදීන් සිටින මධ්‍යම පන්තිය තුල සාපේක්ෂව අඩුවෙන් සිදුවේ. දරුවන් කුඩා කල සිට හොඳින් හික්මවීම, පියා ලඟ නොමැති වුවත් මව් නිතරම දරුවන් ගැන සොයා බැලීම යනාදී හේතූන් මතද, සාපේක්ෂව දෙමව්පියන්ට මෙවැනි ක්‍රියා සම්බන්ධව තරමක අවබෝධයක් පවතින නිසාද මෙසේ සිදුවේ.


මෙම අපරාධවලට ගොදුරු වීම සඳහා දරුවන් තුල බලපාන සාධක:-
යෞවනෝදයත් සමඟම සියළුම දරුවන් තුල හෝමෝන ක්‍රියාකාරී වීම නිසා නව ජීවන පෙරළියක් ඇතිවේ. එවිට ඔවුන් තුල ඇතිවන හැඟීම් නිසා,
පෙර මාපිය රැකවරණ යටතේ හැදී වැඩුනු නමුත් පසුව ස්වාධීන නිදහස බලාපොරොත්තුවේ. එවිට නිරන්තරයෙන් දෙමව්පියන් සමඟ ගැටුම් ඇතිකර ගනී. බොහෝවිට "අම්මාට තාත්තාට තියෙන්නේ හණමිටි අදහස්" යැයි පවසන්නේ මෙම කාලයේදීය. මෙසේ නව චින්තනයකින් යුතු ගැටවරයින් බිලි ගැනීමට රුදුරු බලවේග තිබෙන බව ඔවුන් නොදනී. දෙමව්පියන් මේ බව පහදා දුන්නත් නිරන්තරයෙන් "නාහෙට නාහන" පිරිසක් නිසා ඔවුන් එක පයින් තම දෙමාපිය අදහස් ඉවතලති.
එමෙන්ම දරුවාගේ මුල් කාලීන ඇතිවන ලිංගික හැඟීම ඔවුන්ට අමුත්තකි. ඒ පිළිබඳව ඇත්තේ බලවත් කුතුහලයකි. නිල් චිත්‍රපටි, සඟරා ආදිය ඔවුන් අතට මෙම කාලයේදී ලැබුනොත් තත්වය තවත් භයානකය. දරුවා ගැහැනු හෝ පිරිමි පාසලක සිටීනම් මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් පවතින දරුවන් එක්වී සමලිංගික සේවනයට ඇබ්බැහිවේ. අන් අයගේ අවයව දැක ගැනීමේ බලවත් කුතුහලයකින් දරුවා මෙම කාලයේදී පෙළේ. එමෙන්ම මිශ්‍ර පාසල් වලනම් විෂම ලිංගික සේවනයට පවා යොමු විය හැකිය. බොහෝවිට දරුවා වහා ලිංගික ක්‍රියාවන් සඳහා පෙළඹීම නිසා මෙවන් තත්වයන් ඇතිවේ. 


දරුවා ආකර්ෂණය වීම
මෙම ක්‍රියාවන් සිදු කරන්නේ කවුරුන් කවර අවස්ථාවකදීද යන්න අපට නිවැරදිව හඳුනා ගත නොහැකිය. විටෙක ඒ දරුවා ඉතා ආදරය කරන ඔහුගේ ජීවිතයේ වීරයෙකු බඳු චරිතයක් විය හැකිය. එමෙන්ම ඒ ඔහුගේ ඥාති සොයුරෙකු හෝ සොයුරියක විය හැකිය. තවත් විටෙක දරුවාහට තෑගි බෝග දී ඔහුව රවට්ටා ගන්නා අයෙක් විය හැකිය. ඒ නිසා මෙසේ දරුවන් ආකර්ෂණය වීම කෙරෙහි පහත කරුණු ගත හැක.
1. පුද්ගලයා දරුවා ඉතා ගරු කරන අයෙකු නිසා ඔහුට එම ක්‍රියාව සඳහා ඉඩ දී බලා සිටීම.  ඔහුට ආදරය කරන නිසාද මෙසේ සිදු කරයි.
2. ඥාතීන් මෙවැන්නක් සිදු කල විට ඔවුන් "තරහ" වේ යැයි බියෙන් නැවත නැවතත් මේ සඳහා ඉඩ දීම.
3. ඔහුගෙන් තෑගි බෝග ලැබේනම් ඒවාට ඇති ආශාව නිසා ඉඩදී බලා සිටීම.
4. මෙසේ වරක් අපයෝජනය වූ විට නැවත නැවතත් එම ක්‍රියාව සඳහා සිත ඇදී යාම. එවැන්නක් පාලනය කර ගැනීමට පවා අසීරු වීම.


ළමා අපයෝජකයන් බිහිවීමට හේතුව:-
මේ සඳහා බලපානු ලබන හේතූන් විශාල ප්‍රමාණයක් තිබෙන නමුත් මූලික වශයෙන් හඳුනාගත හැකි හේතූන් වන්නේ,
1. යහපත් ළමාවියක් නොලැබීම:- මෙම අපයෝජකයින් බොහෝ දෙනෙකුගේ ළමා කාලය ඉතා කටුකවූ එකකි. සමාජ අසාධාරනය අධිකව සිදුවන පරිසරයක කුඩා කල සිට වැඩෙන අයෙකු ලිංගික අපචාර සඳහා යොමු වීමට අති ඉඩ කඩ සාපේක්ෂව වැඩිය. කුඩා කල මෙවැනි අපරාධයකට ගොදුරුවූ අයෙකු වැඩිහිටියෙකු වූ පසුද මෙවැනි ක්‍රියාවන් සඳහා නිරායාසයෙන් පෙළඹේ. එය පසු පරාම්පරා අතර පිළිකාවක් සේ පැතිරී යයි.
2. නිදහස සීමා වීම:- කුඩා කල සිට අනවශ්‍ය නීති පද්ධතියක් මඟින් ආවරණය වන දරුවෙකු තුල නිරන්තරයෙන් තම ලිංගික හැඟීම් පිට කර ගත නොහැකිව එය එක්වරම සාමාන්‍ය අවස්ථාවන්ට වඩා ප්‍රචණ්ඩව එය පිට කිරීමට උත්සාහ දරයි. එමෙන්ම දරුවා ස්වයං වින්දනයේ යෙදෙනවා දකින දෙමව්පියන් දරුවාට දොස් පැවරීමෙන්ද දරුවා තවත් අසරණ විය හැකිය. එනිසා දරුවා ගණිකා ඇසුර වැනි ක්‍රියාවකින් පටන්ගෙන පසු කාලීනව ළමා අපයෝජන වලට පවා පෙළඹිය හැකිය.
3. දෙමව්පියන්ගේ පෞරුෂත්වයෙහි පවතින දුර්වලතා:- උදාහරණ ලෙස මව පුරුෂ ලක්ෂණ වැඩියෙන් හෝ පියා ස්ත්‍රී ලක්ෂණ වැඩියෙන් දැරුවහොත් එවැනි දරුවන් සමලිංගික සේවනයට යොමු වීමට ඇති ඉඩ වැඩිය. මෙය පසු කාලීනව ළමා අපචාර දක්වා පැතිරේ.
4. අවිවාහක බව.
5. මානසික පීඩනය.
6. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.


අපයෝජකයන් හඳුනා ගන්නේ කෙසේද?
මෙය දෙස විවෘත මනසකින් බැලිය යුතුයි. කිසි විටෙක මෙම පුද්ගලයා ළමා අපයෝජකයෙක් නොවේ යැයි කිසිවෙකුටත් කිව නොහැකිය. මොවුන්,
1. සාමාන්‍යාකාරයෙන් හැසිරෙන්නන් විය හැකිය.
2. දරුවන් නුරුස්සන අය විය හැකිය.
3. දරුවන්ට දැඩි ආදරයක් මිත්‍රශීලීභාවයක් දක්වන්නන් විය හැකිය.
4. දරුවන් වෙනුවෙන් හදවත උණු වන බව පවසා බොරු රඟපෑම් කරන්නන් විය හැකිය.
5. ළමා අපයෝජනයන්ට තදින්ම විරුද්ධ අය විය හැකිය.
මේ කවර ආකාරයකින් පැමිනියත් අපරාධකරුවාගේ අභ්‍යන්තරය පහසුවෙන් කිසිවෙකුට හඳුනා ගත නොහැකිය. මිනිසා තුල දෙවියා සහ අමනුෂ්‍යයා සැඟවී සිටී.


අපයෝජකයන්ගේ අපයෝජනයෙන් පසු ලක්ෂණ:-
1. කිසිදු වෙනසක් නොකර සාමාන්ය පරිදි කටයුතු කරයි.
2. ප්‍රදේශයෙන් පලා යයි.
3. දරුවා දකින විට මඟ හරී.
4. අපයෝජකයා සෙවීමට අන් අයට වඩා අනවශ්ය උත්සාහයක් ගන්නා බව පෙන්වයි.

ළමා අපයෝජන සම්බන්ධව බලපානු ලබන නීතිය:-
1989 ළමා අයිතිවාසිකම් ප්‍රඥපත්තියට ළමා අපයෝජන සිදු කිරීම වරදක් ලෙස ඇතුලත් කල අතර මේ සඳහා අදාල වන්නේ,
1. ලිංගික කටයුතු වලට බලෙන් හෝ කැමැත්තෙන් යොදා ගැනීම.
2. ලිංගික කටයුතු වලට පෙළඹවීම, පෙළඹෙන ලෙස, කැමැත්ත ඇති වන ලෙස ස්පර්ශ කිරීම, සිප වැළඳ ගැනීම, ශරීරය පිරි මැදීම, අසභ්‍ය සඟරා හෝ චිත්‍රපටි නැරඹීමට සැලැස්වීම, නිරුවත දරුවන්ට පෙන්වීම, ස්පර්ශ කිරීමට ඉඩ හැරීම හෝ දරුවාට පෙනෙන ලෙස ලිංගික ක්‍රියාවන්හි නිරත වීම.
මෙම වැරදි වලට ඒ ඒ ආකාරයෙන් දඬුවම් දීම සිදු කරනු ලැබේ.

මෙහි මුල් කොටසින් මා ගෙන හැර දැක්වූයේ ළමා ලිංගික අපයෝජනයේ මූලිකාංගයි. මෙහි දෙවන කොටසේදී ළමා ගණිකා ව්‍යාපාරය පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්ටු වෙමි.
(ආශ්‍රිත සටහන්:- මහාචාර්ය නන්දසේන රත්නපාල, ක්‍රිශාන්ත් කුරේ.)

2 comments: