Monday, October 11, 2010

පව්කාරයෝ - 3:- කප්පම්කරුවෝ.

2010/08/31. සපුගස්කන්ද සෝහිත විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යසස් ප්‍රසංජන පුතු මාකොළ හන්දියේ වූ වෙළඳසැළකට ගොඩ වූයේය. නමුත් නැවතත් තම නිවෙස බලා පැමිණීමට ඔහුට හැකිවූයේ නැත. මහමඟ තම මරු සිටිනා බව මේ අහිංසක දරු පැටවා දැන නොසිටියේය. අමනුෂ්‍ය ලෝකයෙන් වරම් ගත් පව්කාරයින් දෙදෙනෙකු මෙම අහිංසක දරුවා එන තෙක් මඟ බලා සිටියහ. අමනුෂ්‍යන්ට අවශ්‍ය බිල්ල ලැබුනි. කුඩා යසස් රැගත් රිය හීයක වේගයෙන් ඉගිලෙන්නට විය. පව්කාරයන්ගේ දුරකථනය ක්‍රියාත්මක විය. යසස්ගේ පියා ඇමතූ ඔවුන් පැවසූයේ දරුවා බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 8ක කප්පමක් අවශ්‍ය බවයි. තම පුතුගේ ජීවිතයට අනතුරක් වේ යැයි බියවූ පියාට පොලිසියේ සහාය ලබා ගැනීමට සිදුවිය.පව්කාරයන්ගේ අධමත්වය ඉස්මතු විය. කුඩා යසස්ට පහර දුන් මෙම මෘගයන් තමා කුඩා කල බිව් ලේ කිරි සුවඳ අමතක කරමින් තවත් අහිංසක ජීවිතයක ලේ සෙළවීම සඳහා අහිංසක දරුවාගේ ගෙල මිරිකන්නට වූහ. එයින් නොනැවතුනු මෙම පව්කාරයන් පුංචි යසස්ගේ ජීවිතය විනාශ කිරීම සඳහා බිහිසුණු තීරණයක් ගෙන තිබුනි. එනම් දරුවාව වික්ටෝරියා ජලාශය වෙත තල්ලු කිරීමයි. තීරණය ක්‍රියාත්මක විය. මර බියෙන් කෑගසමින් සිටි දරු පැටවා පහළට තල්ලු කලහ. නමුත් පව්කාරයින් සිතූ අයුරින් එය එසේ සිදු නොවීය. ගස් මුල් අතර රැඳීමෙන් යසස්ගේ ජීවිතය ගැලවුනි.

දේශයේ අභාග්‍යයට, ලෝකයේ අභාග්‍යයට උපන් පව්කාරයන් අතින් අභාග්‍යමත් ලෙස විනාශවීමට ගියද යසස් පුතුගේ ජීවිතය පෙර පිනක් ඉස්මතු වීමෙන් ගැලවුනි. අහිංසක දරු පැටවාගේ ජීවිතය එසේ ගැලවුනත් මීට පෙර ඉතිහාසය තුල ඉතිහාසයට කැළැල් පරිච්ඡේදයන් එක් කරමින් අධම පව්කාරයන් අතින් මරු තුරුළට ගිය අපේ දරු පැටවුන් පිළිබඳව විමසා බලමු.

ආදරණීය මිතුරනි, අප ඉතිහාසය පුරා මෙවැනි සිදුවීම් කොතෙකුත් තිබේ. ඒ සෑම අවස්ථාවකම මෙම පව්කාරයින්ගේ ඉලක්කය වූයේ අනාගතයයි. කිසිදු වරදක් නැති දරු පැටවෙකි. මුදල් සෙවීම සඳහා දෙමාපියන්ගේ ජීවිතය බඳු අහිංසක දරු පැටවෙකු පැහැර ගැනීම වර්තමාන ලෝකයේ පවතින අධමත්වය පෙන්වන මනා කැඩපතකි. දැන් මා ප්‍රධාන සිදුවීම් කිහිපයකට අවධානය යොමු කරමි.

මෙම වසරේ මුල් කාලයේ කුරුණෑගලදී කප්පම් සඳහා පැහැර ගන්නා ලදුව පසුව මරා දැමූ මහිම සඳකැළුම් සිල්වා දරුවාගේ ඝාතනය සිහිකර බලන්න. අවසානයේ දක්නට ලැබුනේ පර්වතය පාමුලවූ ඇට කටු පමණි.

එමෙන්ම 1998 වසරේදී කප්පම් ගැනීම සඳහා පැහැරගත් සදීප ලක්ෂාන් දරුවාගේ සිදුවීම සිහිකර බලන්න. පවුලට ඈතින් ඥාතියෙකුද වූ ලාබාල ඝාතකයා අහිංසක දරුවාව එසේ පැහැරගෙන පසුව මරා දමන ලද්දේ තම පෙම්වතියගේ ක්ෂණික මුදල් අවශ්‍යතාවයකටය. ඒ සඳහා ඔහුට උදව් කල සහායකයන් දෙදෙනාට ලැබුනේ ගංජා සුරුට්ටු 10 බැගිනි. මුදල් වෙනුවෙන්, මත්ද්‍රව්‍ය වෙනුවෙන් අහිංසක දරුවා තම ජීවිතයෙන් වන්දි ගෙව්වේය.

මෙවන් සිදුවීම් වාර්තා වූයේ මෑතක නොවේ. 80 දශකයේදී ලක්ෂ 2ක කප්පමක් සඳහා පැහැර ගෙන පසුව මරා දැමූ මතුගම සමන් කුමාර දරුවාගේ ඝාතනය සිහි කර බලන්න. ඔහු පැහැර ගන්නා ලද්දේ පාසල් යන අතරවාරයේයි.

කරන ලද පව් වලින් යම් කොටසක් හෝ මේ ජීවිතය තුලදීම ගෙවීමට සිදුවූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ. ඒ (අව.)නීත්‍යානුකූල ලෙස 88,89 භීෂණ යුගයේදී එක්තරා පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධ සිදුවීමකිනි. මොහු දරුවන් පැහැරගෙන කප්පම් ගැනීම සිදු කලේය. එසේ මුදල් නොගෙවූ පවුල්වල දරුවන් ටයර් සෑයන්හි ආදාහනය කිරීමද මෙම පව්කාරයා අතින් සිදුවූ තවත් සත්කාරයක් විය. දෙමාපියන්ගෙන් මංකොල්ල කෑ මුදල් තම වත්කම හෙළිවෙතැයි බියෙන් බැංකුවක පවා තැන්පත් නොකර අල්මාරියක ගොඩ ගැසුවේය. පසු කලෙක ඔහුගේ ඇඟ පුරා ගෙඩි ඇතිවී පැසවා සැරව ගලන්නට විය. ඒ අතරතුර උග්‍ර මානසික ආබාධයකින්ද පෙළුනේය. කවර වෙදකමක් කලද සුව නොවූයෙන් තැන්පත් කල මුදල් දෙසවත් නොබලාම ඔහු අපා ගත විය. (මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ මේ ජීවිතයේදීම පල දෙන කර්මය නම් ග්‍රන්ථයෙනි.)

මේ කවර ආකාරයෙන් සිදු කලත් මෙවැනි පව්කාරයන්ට මේ ආත්මයේදීම හෝ පරලොවදී මෙම පාපයන්ට විපාක ගෙවීමට සිදුවනු නො අනුමානය. මරණින් මතු ඒකාන්තයෙන්ම අපාගත වන මෙම පව්කාරයින් යන්තමින් හෝ පිනක් ලබා ඉපදුනත් කල පව් පසු පසින් පැමිනේ. එනම් කිසිදිනෙක මෙවැන්නෙකුට දරු පැටවෙකුගේ සුරතල් බැලිය නොහැකි වනු ඇත. ඉපැදුනත් කවර හෝ අංගෝපායන්ගේ අඩුපාඩුවක් සහිතව ඉපදෙනු ඇත. එසේත් නොමැතිනම් මහා නරකයන්හි ලෝදිය සයුරේ කිමිදෙමින්, අසිපත් වනයේ වූ අසිපත් පත්‍ර වලට තම ශරීරාවයන් සිඳ ගනිමින්, නිර පාලකයන් විසින් පමුණුවන ලබන පංච මහා වධ බන්ධනයන්ට ලක් වෙමින් කල්ප ගනන් නිර වල පැසීමට සිදුවනු ඇත. ඒ ඔවුනට විරුද්ධව සොබාදම් නීතිය ක්‍රියාත්මක වන ආකාරයයි.

කප්පම්කරුවන් බිහිවන්නේ කෙසේද?
මූලික හේතූන් කිහිපයක් හඳුනා ගත හැකිය. ඉන් ප්‍රධාන වන්නේ,
1. ක්ෂණික මුදල් අවශ්‍යතාවයන් ඇතිවීම.
2. දරුවාගේ දෙමව්පියන් සමඟ පවතින වෛරයක් දරුවාව පෙළීම මඟින් පිරිමසා ගැනීමට උත්සාහ දැරීම.
3. අන්‍යෝන්‍ය දියුණුවට පවතින ඊර්ෂ්‍යාව සහ අකමැත්ත.
4. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී සිටීම.
5. ළමා අපචාර සඳහා ඇබ්බැහිව ඒ සඳහා දරුවා යොදාගෙන පසුව බොරුවට කප්පම් ඉල්ලා දරුවා අතින් රහස හෙළිවෙතැයි බියෙන් මරා දැමීම.
6. යහපත් ළමාවියක් නොලැබීම සහ වර්තමානයේ පවතින පීඩිත ජීවන රටාව,
යන ඒවායි.

අවසානයේදී................
මෙම පව්කාරයින් විසින් පැහැර ගන්නා ලබන දරුවන් මොවුන්ගේ මුහුණු හොඳින් හඳුනති. එනිසා දෙමාපියන්ගෙන් මුදල් ගත්තද මොවුන් නිදහස් කරතැයි බලාපොරොත්තු විය නොහැකිය. බොහෝවිට මොවුන්ට සිදුවන්නේ මරු තුරුලට යෑමටයි. ඉතිහාසය පුරා පවතින දත්තයන් විශ්ලේෂණය කිරීමේදී එය පැහැදිලිවේ. එමෙන්ම විටෙක මෙම අහිංසකයන් මිය යන්නේද වචනයට නැඟිය නොහැකි තරමේ මහත්වූ වේදනාවන්ට මුහුණ දීමෙනි. (යසස් පුතුගේ සිදුවීම සලකා බලන්න.) 

විසඳුමක් සෙවීමේදී................
ඕනෑම අපරාධකරුවෙකු සතුව මානුෂික මුහුණුවරක් තිබිය හැකිය. නමුත් ළමා අපචාරකරුවන්ගේ සහ කප්පම්කරුවන්ගේ අපරාධයන්හි කිසිදු මානුෂික මුහුණුවරක් කිසිදු අයුරකින් නැත. මෙම පව්කාරයින් තම බිහිසුණු අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්නේ අපගේ අනාගතයයි. අපගේ රත්තරන් දරු පරම්පරාවයි. බිලි පූජා පැවැත්වීම සඳහා දරු පැටවුන් යොදා ගැනීමද මේ ගනයෙහිලාම සැලකිය හැකිය. 
ආදරණීය මිතුරනි, මා කුරිරු මිනිසෙකු ලෙසවත්, මනුෂ්‍යත්වය නාඳුනනා අයෙකු ලෙසවත් නොදකින්න. මෙවැනිවූ පව්කාරයින් සඳහා මා යෝජනා කරන දෙයක් පවතී. එනම් කසපහර විශාල ප්‍රමාණයක් තැලීමෙන් අනතුරුව ඒ මොහොතේම විශාල ජනකායක් මධ්‍යයේ ගෙල සිඳ මරා දමා ඉක්මනින්ම නිරයේ සුව පහස ලැබීමට යැවිය යුතු බවයි. මේ සිදුවීමට සම්බන්ධ යම් අයෙකු සිටීද ඔහුටද කසපහර විශාල ප්‍රමානයක් තලා බොහෝ කලකට බන්ධනාගාර ගත කල යුතුය. එසේත් නොමැතිව අපගේ රත්තරන් දරු පරම්පරාවට සිදුවන මෙම ව්‍යසනය නතර කර ගත හැකි නොවේ. එකෙකු දෙන්නෙකුට හෝ මෙවැන්නක් සිදු කල විට සෑහෙන ප්‍රමාණයකින් මෙම අපරාධයන් වළක්වා ගත හැකි බව මාගේ අදහසයි.

ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ ලේ කිරි කඳුළින් සැදුනු ඔබේ දරු පැටවා ඔබේ ජීවිතයයි. ඔහු ඔබේත්, රටේත් අනාගතයයි. ලේ කිරි සුවඳ අමතක කර දමා මුදලට හෝ පළිගැනීමට වියරුවී ඔබේ අහිංසක දරු පැටවා බිළි ගැනීමට මාන බලමින් සිටින අධමයන් වර්තමානයේ බහුලය. ඔබටත් නොදැනීම, ඔබේ ජීවිතය වූ රත්තරන් දරු පැටවා මෙම පව්කාරයින්ගේ ගොදුරක් වීමට ඉඩ තිබේ. එනිසා ඔබ ඔබේ දරු පැටවා ගැන දැඩි සැළකිල්ලක් යොමු කරන්න. මෙවැනි අධමයන්ගේ කුරිරු හස්තයට ලක්ව ඔබේ අහිංසක දරු පැටවාගේ ජීවිතය විනාශවී යෑමට ඉඩ දෙන්න එපා! මෙවැනි ජඩයන් නීතියේ හස්තයට ග්‍රහනය කර ගැනීමට ඔබගේ ශක්තිය ලබා දෙන්න. හෙට දිනයේදී මොවුන් බිළි ගන්නේ ඔබේ දරුවා විය හැකිය. එසේත් නොමැතිනම් මතු දිනයක මගේ දරුවා විය හැකිය........

No comments:

Post a Comment