Monday, October 4, 2010

දිනපොතින් පිටුවක්:- නාකි විසේ.

 එදින එම පෞද්ගලික ආයතනයට මා ගියේ මගේ පියාගේ මිතුරෙකු හමුවීමටයි. ඔහුට යම් සංගමයක ලිපි වගයක් භාර දීමට තිබුනි. ________ අංකල් හමුවීම සඳහා තවත් බොහෝදෙනෙකු සිටි නිසා මා තරමක් පසෙකට වී සිටියෙමි.
මා අසලින් වයස අවුරුදු 65 ඉක්මවූ මිනිසෙක් අසුන්ගෙන සිටියේය. මා දෙස බැලූ ඔහු විමසුවේ,
"What are you doing here?" ලෙසය.
මා ඉතා පැහැදිලි හෙළ බසින්
"ඔබ සිංහලද"යි විමසුවෙමි.
ඔහු "Yes" කියා මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කලේය.
ඒ වන විටත් මට දැඩි හිසරදයක්ව සිටි මගේ පියාටත් වඩා වයසවූ මෙම කෙස්ස පැසුනු නාකියා මා ඇමතුවේ "Brother" ලෙසය. 

වටපිට සිටි පොත්ත සුදුවූ නංගිලාටත් ඔහු පොෂ් අයියා කෙනෙක්ද, මා ගොඩේ මිනිහෙක්ද වන්නට ඇත. මා සමඟ කතාවේදී මෙම නාකි මනමාලයා ඒ නංගිලා දෙසත් ජරා බැල්මක් දමනවා මා දුටුවෙමි. මෙම නාකියාට ඔවුන්ගේ වයසේ මිනිබිරියන්ද සිටිය හැකිය. මගේ රතු කට්ටද සීඝ්‍රයෙන් ඉහළ යන බවද මට තේරුනි. _______ අංකල්ට තවම නිදහසක් නැති නිසා මට මේ නරුමයාගෙන් තවම ගැලවිල්ලක් නැත. මා මුලින් ඔහුට මහත්මයෙකු ලෙස මහත්මා ලීලාවෙන් කල කතාව පසුව වෙනස් වනු ඔහුටද වැටහෙන්නට ඇත.

මම ඔහුගෙන් ඇසුවේ, "ඇයි සිංහලෙන් කතා කරන්නෙ නැත්තෙ?" ලෙසය. වට පිටේ සිටි පොත්ත සුදු නංගිලා අපහාසයට සිනාසීම මගේ කෝපය දෙගුන තෙගුන කලේය.

ඉතා අපහසුවෙන් මෙන් ඔහු සිංහල භාෂාවෙන්, "මල්ලී සිංහල කියන්නෙ ගොඩයන්ගෙ language 1. අපි international language 1න් තමයි කතා කරන්න ඕනි. මුන් රටේ රාජ්‍ය භාසාව english කරන්නෙ නැති 1නම් හරි වැරදියි" ලෙස කීවේය. අර නංගිලාත් එයට හූමිටි තැබූහ.

අන්න එවරනම් මගේ රතු කටු කෝටියක් පමණ පැනගෙන ගොස් අධික කෝපයකින් මා වෙව්ලන්නට විය.මේ අංකල්......... ලෙස පටන්ගෙන මා කල කතාව අවසානයේදී ඔවුන් සියල්ලන්ගේම රෙදි පටි ගැලවී ගොස් විළි බියෙන් යුතුව ආ කාරණය පවා පසෙක තබා අකුළාගෙන ගියහ. මේ සංවාදය සිදුවූයේ කාර්යාලයෙන් පිටත නිසා පියාගේ මිතුරාට එය නෑසෙන්නට ඇත. එය ඇසුනත් කුඩා කල සිට මා හොඳින් හඳුනන නිසා ගැටළුවක්ද නැත.

පසු විපරම:-
 මෙහි වැදගත් වන්නේ මෙය නොවේ. මෙවැනි අදහස් දරන අමනයන් පිරිසක් අද අප රටෙහි බහුලව දැක ගත හැකිය. අප හෙළ බසෙහි මළගමට රෝගකාරී විෂබීජ වන්නේ වෙනත් කිසිදු ජාතියක පිරිසක් නොව අප ජාතියේම සිටිනා මෙවැනි ජඩයන්ය. මොවුන්ට දැන් හෙළ බස පෑහෙන්නේ නැත. නමින් හෙළ වුනත් කළු සුද්දන් ලෙස සිටීමට මොවුන් කැමතිය. හෙළ චාරිත්‍ර මොවුන්ට "ගොඩේ" වැඩය. බටහිරින් එන ඕනෑම කැළි කසළක් පෙරේත කමින් ගිලීමට තොල කට ලෙවකමින් සිටිනා මෙවැනි පාහරයන් අද වනවිට දණ්ඩක් ඇතුලින් වේයන් පිරිසක් දණ්ඩ කා දමනවා සේ අප තුල සිටිමින්ම අපගේ මව් බස කා දමමින් සිටිති. ඉහළට යන්නේද මොවුන් සහ මොවුන්ගේ අනුගාමිකයන් නිසා වර්තමානයේදී අප හෙළ බස මහත් ආගාධයකට පෙරළී තිබේ.
බ්‍රිතාන්‍ය අසිපත හෙළ සිංහයාගේ පපු තුඩින් ගත්තද සිහ සිරුරෙහි ඇතිවූ කැළැල් කිසි දින මැකිය හැකි නොවේ. හෙළ බසට අවමන් කරමින් පර බස අගයන පරයින් පිරිසක් බිහිවූයේ මෙම ශාපයෙනි. උන්ගේ හමුවීම් වලදී සිටින සියල්ලන්ටම හෙළ බස ඇමතිය හැකි වුවත් මුන් අමතාගන්නේ පර බසිනි. එය උන්ගේ පර ගතියයි. මා හට තනිව කල හැකි කිසිවක් නැත. තනි මිනිහෙක් හෝ හෙළ බස කතා කරන දිනය තෙක්ම එය දිදුලමින් පවතිනු ඇත. නමුත් ඒ මොහොතේ ඇතිවූ අධික සංවේගයට මා හට මතක් වූයේ අබේවර්ධන බාලසූරිය මහතාගේ මෙම ගීතයයි........

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා
කළු සුද්දන් ගැතිව පවසන තෙපුළ අසා
කකියයි රුහිරු රුපු සේනා තෙදණ නසා
නිවහල් ගඟ ගලයි අද මුළු රටම වසා

පරයින් බසට ගැති හෙළයන් පිටු දකිනු
පරයින් පා සිඹින වහලුන් දුරු කරනු
පරයින් මිතුරු කැළ සතුරන් ලෙස සිතනු
පරයින් නසන නිදහස් පිළි රැව් නගනු

පර ගැති කුමරුවෝ හිනැහෙති  සඳළුතලේ
පර ගැති නැති පුතුන් පසු වෙද පිදුරු පැලේ
උන් ආ දිනෙක බිඳදා අදිරද සතුරු බලේ
මේ ලක් පොළොවෙ නිවහල් මල් පොකුරු දිලේ

No comments:

Post a Comment