Monday, October 4, 2010

ඉර හඳ යට - විවෘත මනසකින් බලා විචාරයක්

ඉර හඳ යට........ බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහු එහි වෛද්‍යවරයෙකුගේ සුළු චරිතයක් නිරූපනය කරන සිනමා සිත්තමකි. සමස්ථයක් වශයෙන් කිව යුතු වන්නේ මෙය අසාර්ථකවූ නිර්මාණයක් බවයි. එමෙන්ම එය තහනම් කල යුතු නිර්මාණයක් වශයෙන්ද හැඳින්විය හැකියි.

මෙහි ප්‍රධාන චරිත වශයෙන්,
රඛිත - යුධ හමුදා කපිතාන්වරයා
මහසෙන් - යුධ හමුදා මේජර්වරයා
තිරුබා දේවි - මහසෙන්ගේ බිරිඳ
ආදී වශයෙනි.

මහසෙන්ගේ චරිතය නිරූපනය කරමින් විශිෂ්ට රංගනයක නිරත වන සෞම්‍ය ලියනගේගේ රංගනය හැර සෙසු රංගනයන් පිළිබඳව එතරම් සෑහීමකට පත් නොවිය හැකි බව මාගේ  අදහසයි. 
කපිතාන් රඛිතගේ චරිතය ඉදිරිපත් කරන උදාර රත්නායක තම පෞරුෂය මඟින් එය සිදුකලත් වචන හසිරවීමේදී එය තරමක් මන්දගාමී ස්වරූපයක් ගන්නා බවත් කිව යුතුය.
එමෙන්ම සමහර අවස්ථාවන් වලදී මෙහි නිශ්චිත ආරම්භයක් හෝ අවසානයක් පවා සිතා ගත නොහැකිය. ආරම්භක දර්ශනයේ සිට අවසාන දර්ශනය දක්වා විවිධ අවස්ථාවලදී විටෙක අච්චාරුවක් ආකාරයෙන් මෙය සිනමාපටය පුරාවටම නිරූපනයවේ.

එමන්ම මෙහි සමහර සිදුවීම් දැඩි අස්වාභාවික ස්වරූපයක් පෙන්නුම් කරයි. මේජර් මහසෙන් යටතේ කෝප්‍රල්වරයෙකු සේ සේවය කරන රඛිත එක්වරම කපිතාන් වරයෙකු ලෙස උසස්වීම් ලබයි. කාල පරතරය අනුව ගත්කල එය තරමක ගැටළුවකි.
එමෙන්ම බිම් බෝම්බයකට ගොදුරු වන රඛිත පසුව සාමාන්‍ය පරිදි ගමන් කිරීමට හැකිවන තත්වයට පවා පත්වේ. මෙයද තරමක ගැටළු සහගත තත්වයකි. මෙවැනි තැන් වලදී අධ්‍යක්ෂකවරයාගේ වැරදි සිදුවී ඇති බව මගේ හැඟීමයි.

මෙහිදී දැක්වෙන යුධ ජවනිකා රූගත කිරීම පිළිබඳව තරමක් සෑහීමකට පත්විය හැකි අතර නමුත් එය ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලදු නමුත් ටයිටස් තොටවත්තයන් විසින් සටන් අධ්‍යක්ෂණය කරන ලද "නොමියන මිනිසුන්" සිනමා පටයේ සටන් ජවනිකා මෙන් එතරම්ම තාත්වික නොවන බව පෙනීයයි.
රාත්‍රී සටන් වලදී ඒ බව මැනැවින් පැහැදිලිවේ. තාක්ෂණයෙහි අඩු පාඩු තිබූ මීට වසර 20කටත් ඉහත නිර්මාණයවූ "නොමියන මිනිසුන්" සිනමාවෙහි තිබුනාටත් වඩා සටන් ජවනිකා අති සාර්ථක ලෙස රූගත කිරීමට හැකියාව තිබුනු බව මාගේ හැඟීමයි.

මෙහි එක්තරා ජුගුස්සාජනක සිදුවීමක් පිළිබඳව කිව යුතුමය. ඒ ලුතිනන් සිල්වා විසින් තිරුබා දේවිගේ දෙමව්පියන් ඝාතනය කරන දර්ශනයයි. මා මුලින්ම මෙය තහනම් කල යුතු සිනමා පටයක් ලෙස හැඳින්වූයේද මෙම දර්ශනය හේතුවෙනි.
මේ තරම් සිය ලේ දහදිය වගුරා අප දේශය බේරා දුන් ආදරණීය රණ විරුවන්ට මෙම දර්ශනය මඟින් තරමක අපහාසයක් සිදුවන බව පැවසිය යුතුමය.
එමෙන්ම පසු කාලීනව මෙම දර්ශනය අඩංගු චිත්‍රපටය නරඹන කෙනෙකුගේ සිතෙහි අප රණ විරුවන් පිළිබඳව යම් අපැහැදීමක් ඇතිවීම වළක්වනු නොහී.
මෙහිදී මේජර් මහසෙන්ගේ චරිතය ඉස්මතු කරවීම සඳහා ගෙන ඇති උත්සාහයනම් සාර්ථක නොවේ.
මෙය දිගින් දිගටම තිරගත කරන්නේනම් මෙම දර්ශනය ඉවත්කර හෝ තිරගත කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.

සිනමාවෙහි මුල් කොටසෙහි ඇතුලත් වන්නේ එල්.ටී.ටී.ඊ. අත් අඩංගුවට පත්වන අප රණවිරුවන් හට ඉතාමත් කුරිරු වධ වේදනා පමුණුවන දර්ශන කිහිපයකි. එහිදී යුද්ධයේ යථාර්ථවාදී ස්වරූපය තරමක් පෙන්වා තිබේ. එමෙන්ම එම දර්ශන කිහිපයද ස්වාභාවික ලෙස ගෙන තිබීමත් අගය කල යුතුය.
එමෙන්ම මෙහි එක් අවස්ථාවකදී යුධ හමුදාව මඟින් ත්‍රස්තවාදී කඳවුර අත්පත් කර ගැනීමේදී ඇතිවන සටන් සාර්ථක ලෙස ගෙන තිබීමද අගය කල යුතුය. එහිදී යම් දර්ශනයක් ඉතාමත්ම ස්වාභාවික ආකාරයට ගෙන ඇති බව ඉතාමත් සතුටින් කිව යුතුයි. ඒ අත් අඩංගුවේ සිටි රණවිරුවන් නිදහස් කර ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ ස්වරූපයයි. මෙහිදී වේෂ නිරූපනය දැඩිව අගය කල යුතුයි.

මෙහිදී එතරම් ප්‍රධාන චරිත නොවන පෝල් මාස්ටර් හා භානුගේ චරිතයන් නිරූපණය කරන බිමල් ජයකොඩි සහ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ ප්‍රතිභාපූර්ණ රංගනයයි. ඇත්තෙන්ම පෝල් මාස්ටර්ගේ අමානුෂිකභාවය මෙන්ම, භානුගේ විටෙක දැඩි අමානුෂිකභාවයත්, මහසෙන් මිය යන මොහොතේ සහ කුඩා දරුවා ඝාතනය කරන මොහොතේ පෙන්වනු ලබන හැඟීම් ඉතාමත් විශිෂ්ට ලෙස යොදාගෙන තිබේ.
මෙහි මහසෙන්ගේ මවගේ චරිතය නිරූපණය කරන සුවිනීතා වීරසිංහ ඉතාමත් විශිෂ්ට ලෙස එය තම හැකියාවන් විදහා දක්වයි. 
මෙහි එක්තරා රංගන ශිල්පිනියකගේ හැකියාව එතරම් සාර්ථක ලෙස යොදාගෙන නොමැති බව පැවසිය යුතුය. ඒ මහසෙන්ගේ සොයුරියගේ චරිතය නිරූපණය කරන චාන්දනී සෙනෙවිරත්නගේයි. අප රටෙහි ඕනෑම චරිතයක් කල හකි විශිෂ්ටතම රංගන ශිල්පියකගේ හැකියාවන් මීටත් වඩා යොදාගෙන තිබුනේනම් එය සිනමාවට මහත් ආභරනයක් බව කිව යුතුය. 

චිත්‍රපටියෙහි හමුවෙන එක් දර්ශනයක් පිළිබඳව ඕනෑම කෙනෙකුගේ සිත ඇදී යයි. ඒ රඛිත, සාමා සහ තිරුබා දේවි වැවක් අසල හිරු බැස යද්දී සිටින දර්ශනයයි. එය නිර්මාණකරුවා විසින් ඉතාමත්ම විශිෂ්ට අයුරින් යොදාගෙන තිබේ.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ මෙහි මා මුලින් සඳහන් කල දර්ශනය ඉවත් කර නැවතත් තිර ගත කල යුතු බවයි. නො එසේනම් එය අනාගතය සඳහා මහත් ගැටළුවක් වනු ඇත.
එමෙන්ම මෙහි රෝහණ වීරසිංහයන්ගේ මනා සංගීත කුසලතාවයද සාර්ථක ලෙස යොදාගෙන නොමැති බව පැවසිය යුතුය. 

අප වීරෝධාර රණවිරුවන් අවසාන කල ඒ මහා ම්ලේච්ඡ ත්‍රස්තවාදය අඩංගු මෙම සිනමාව මීට වඩා විශිෂ්ට අයුරින් සිදුකිරීමට තිබුනි. ඇතැම් සංවේදී සියුම් දර්ශන මඟින් වඩා වැඩි යමක් මෙවන් මාතෘකාවක් යටතෙහි නිර්මිත සිනමා පටයකින් ලබා දීමට හැකියාව තිබුනි. නමුත් ඉර හඳ යට මඟින් සිරිලක ඉර හඳ යට වෙසෙන මිනිසුන්ගේ සිත් වලට එතරම් වැදගත්වූ පණිවුඩයක් දීමට අපොහොසත් වූ බවක් කණගාටුවෙන් වුවද කිව යුතුමය.
 

No comments:

Post a Comment