Monday, October 4, 2010

පව්කාරයෝ - 2:- පින් මඳ පුතුනේ

අපේ දරුවන්, අපේ අනාගතය අපේ දරුවන්ය. අපේ රටේ අනාගත මහා විශ්වකර්මයන් අපේ දරුවන්ය. අපේ රටේ අනාගත නායකත්වය අපේ දරුවන්ය.එසේම එදා ඇතැම් පව්කාරයන් අසීමිත ලෙස ශ්‍රමය සූරා කෑමට යොදා ගත්තේත්, අද දින සහ මතුවට යොදා ගන්නේත් අපේ දරුවන්ය.
එයින් කුඩා කලදීම තම කෙළිළොල්විය විනාශවී ගොස් අහිංසක මොළවලට දරාගත නොහැකි මට්ටමේ මානසික පීඩනයකට ලක්වී, වහල්භාවයෙන් නිදහස් වූ විට එම අතිවිශාල මානසික පීඩනය විනාශකාරී ශක්තියක් ලෙස සමාජයට මුදා හරින්නේත් අපේ දරුවන්ය.

ළමා මෙහෙකාර සේවය.
අප රටෙහි පවතින නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු සෑම දරුවෙක්ම පාසැල් යෑම අනිවාර්ය කර ඇත. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමද නෛතිකව තහනම් කරන ලදුව ඇත. එසේ තිබියදී පවා අතැම් බලපුළුවන් කාරයන් විසින් දරු පැටවුන්ගේ අහිංසකභාවය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ හෙට දවස අපගේ හෙට දවස විනාශ කිරීමේ වියරු අරගලයක නිරත වෙති.

ළමා මෙහෙකරුවන් බිහි වන්නේ ඇයි?
මූලික වශයෙන් හඳුනාගත හැකි හේතූන් කිහිපයක් පවතී. ඉන් ප්‍රධානතම වන්නේ අධික දරිත්‍රතාවයයි. එයට අමතරව පහත සඳහන් හේතූන්ද පිළිගත හැකිය.
1. මව විදේශගත වීම නිසා පවුල අසරණ වීම.
2. රැවටීම්වලට භාජනය වීම.
3. පියාගේ බීමත්කම හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.
4. යම් බවලතෙකුට භය හෝ පක්ෂපාතී වීම., යනාදීන්ය.
දරුවන්ට හොඳින් අධ්‍යාපනයක් ලබා දෙන බව පවසමින් ඇතැම් වැදගත් යැයි කියාගන්නා නෝනා මහතුන් ගම්මානවලට ගොස් අහිංසක ගැමි දරු පැටවුන්, ඔවුන්ගේ මාපියන් රවටා කැඳවා ගෙන එති. මෙහිදී දරුවාට කන්න අඳින්න ලැබෙනවානම් කවර යහපතක්දැයි සිතමින් ඒ අහිංසක දෙමාපියන් තම දරුවාව ඒ නෝනා මහතුන්ට භාර දෙති.
පියාගේ බීමත්කම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී තිබීම හෝ එම බවලතාට දෙමාපියන් දක්වන භය හෝ පක්ෂපාතීභාවය නිසාද මෙම කරුණ උත්ප්‍රේරණය විය හැකිය.
මෙයට පහළොස් වසරකට පමණ පෙර බිහිවූ "ගිගිරි වළලු" නම් ටෙලි නාට්‍ය ඔබෙන් ඇතැමෙකුට මතක ඇත. මව විදේශගත වීම නිසා ඇගේ පුතුවූ "සමන්" නම් දරුවාට අයත්වන ඉරණම එහි අඪ්‍යක්ෂකවරයා විසින් මනාව පෙන්වා දෙන ලදී.

නිමක් නොවෙනා කුරිරු මෙහෙවර.
මොහොතක් සිතන්න. මෙම පව්කාරයන් අතින් පිපෙන්නට මත්තෙන් කඩා තලා පොඩිකර දමන අපගේ අහිංසක පැටවුන්ට මොවුන්ගෙන් සිදුවන ගැහැට කෙළවරක් නැත.
අරුණෝදයටත් හෝරා කිහිපයකට මත්තෙන් අවදිවන මොවුන් විටෙක මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරුද තම අසරණභාවය මෙම අධම පව්කාරයන් ඉදිරියේ සෝදාහරිති.
නිවෙස් පිරිසිදු කිරීම, වැසිකිළි පිරිසිදු කිරීම, පිඟන් කෝප්ප පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම යනාදී නිමක් නොවෙනා වැඩ මෙම කුඩා අත් මත තැබීමට මෙම නොමිනිසුන් අමතක කරන්නේ නැත.
යම් හෙයකින් මෙම අහිංසක දරු පැටවුන් අතින් මෙවැනි එක් මෙහෙයක් හෝ මඟ හැරුනුවිට, මොවුන්ට ලැබෙනා ඒ කුරිරු දඬුවම් දුටුවහොත්, ඔබ මනුෂ්‍යත්වය හඳුනන මිනිසෙක්නම්, ඔබේත් මගේත් දෑසට නැඟෙනා කඳුළින් මහමෙර පවා සේදී යනු ඇත.
කම්මුලට වැරෙන් පහර දීම, කෝටු කටු අතු යනාදියෙන් පහර දීම, ආහාර වේල් ගනනින් නොදී නිරාහාරව තැබීම, ශරීරයේ යම් ස්ථානවල කැපීම් සිදු කිරීම, ගින්නෙන් පිළිස්සීම, විදුලි සැර වැද්දවීම වැනි අපරාධ මෙන්ම විටෙක ලිංගික අපයෝජනද, තවත් විටෙක බලෙන් මත් පැන් පෙවීම වැනි අපරාධ මෙම අධර්මිෂ්ට පව්කාරයන් අතින් සිදුවේ.

ආදරණීය මිතුරනි, ඔබ දැනටමත් දරුවෙකුගේ වගකීම් දරනා මවක හෝ පියෙකු විය හැකිය. නැතහොත් අනාගතයේදී එසේ කරන්නෙකු විය හැකිය. ඒ කෙසේවෙතත් ඔබේ දරුවාට යම් පව්කාරයෙකු අතින් මා ඉහත සඳහන් කල අපරාධයක් සිදු වුවහොත් දැනෙන හැඟීම කෙබඳුද?
එසේනම් ඒ අහිංසක දරුවන්ගේ දෙමාපියන් මෙම කුරිරු වේදනා දන්නේනම් ඔවුන්ට ඇතිවන හැඟීම කෙබඳුද?
යම් හෙයකින් ඒ අහිංසක දරුවන් දෙමාපියන් මියගොස් සිටිනා දරුවන් නම්?
කිසිවෙකුගේ ආදරය, දයාව නාඳුනනා නිරයක අපමණ වේදනාවන් විඳීමට ඉඩ හළ යුතුද? 

බිහිසුණුය ප්‍රතිඵල.
මේ අහිංසක දරු පැටවුන් කුඩා කල විඳිනා ඒ මහා දුක් කඳ, ඒ වේදනාව චිත්ත පීඩනයක්වී කුඩා මනසේ තැන්පත්වේ. දිනෙන් දින වැඩිවන අධික මානසික පීඩනය ඒ කුඩා පැටවුන් කෙසේහෝ විඳ දරාගෙන සිටිති.
නමුත් ඔවුන් සෑම දිනම කුඩා උන් සේ සිටින්නේ නැත. දිනෙක එම වහල්භාවයෙන් නිදහස්ව, සමාජයට පිවිසෙන විට, කුඩා කල තමාට ඇතිවූ එම කායික, මානසික වේදනාවන් සිතෙහි කැකෑරෙමින් මහත් විනාශකාරී ශක්තියක් බවට පත්වෙමින් තිබේ. මේ සමාජයට ඔවුන් මුදා හරින්නේ එම විනාශකාරීවූ ශක්තියයි.
මේ හේතුවෙන් සොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, ගණිකාවුන් ආදී විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වන්නන් බිහිවේ.සමාජයට ගැටළුවක්වූ බොහෝ පාතාල කල්ලි සාමාජිකයන්ගේත්, සොරුන්ගේත්, අපරාධකරුවන්ගේත් ළමාවිය ඉතා දුක්ඛිතය.
ඔවුන් සමාජයට මුදා හළ ඒ මහා විනාශකාරී ශක්තියෙන් සිදුවූ විනාශය ඔබේත් මගේත් නෙත් ඉදිරිපිට දෘශ්‍යමානවේ.
යම් හෙයකින් මොවුන් රැක ගත්තේනම් මතු දිනයක දක්ෂ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ආදී අප දේශය බබලවන්නන් වනු ඇතැයි කිව නොහැකිද?

ගැටළුවට පිළියමක් ලෙස.
මා මෙහිදී මූලික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමි. ඒවානම්,
1. දරිද්‍රතාවයන් අධික පවුල් නඟා සිටුවීම සඳහා ව්‍යාපෘතීන් සැලසුම් කිරීම.
2. මානව උපදේශන මධ්‍යස්ථාන ඇති කිරීම.
3. මෙවැනි තත්වයට පත්වන දරුවන් පුනරුත්තාපනය කිරීම සඳහා න්සි පුහුණුකරුවන් සහිත රැඳවුම්හල් ඇති කිරීම. මොවුන් මනුෂ්‍යත්වය ප්‍රගුණ කල තැනැත්තන් විය යුතුයි.
4. අනාථ නිවාස වල තත්වයන් සොයා බැලීම. බොහෝ අනාථ නිවාස තුලදීද දරු පැටවුන් විවිධ අකටයුතුකම් වලට භාජනයවේ. සමලිංගික සේවනය ඒ අතරින් ප්‍රධානයි. මේවා නැති කල යුතුයි.
5. පාසල් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් හෝ කවර මට්ටමකින් දෙනව්පියන් සහ දරුවන් මේ මහා ව්‍යසනය පිළිබඳව සහ ඉන් ඇතිවන අනිසි විපාක පිළිබඳව දැනුවත් කල යුතුයි. 
6. මත්ද්‍රව්‍ය ආදීන්ට ඇබ්බැහිවූ පියවරුන් සහ දරුවන් පුනරුත්තාපනය කල යුතුයි. ඒ සඳහා අදාල පරිවාසාගාර ඇති කල යුතුයි.
7. කිසිදු ආකාරයකින් තරාතිරමක් නොබලා වරදකරුවන්ට දැඩි දඬුවම් පැනවිය යුතුයි. එමෙන්ම ඒවා මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය කරන්නේනම් වඩාත් සාර්ථකය.

නමුත් වාසනාවකට මෙන් වර්තමාන යුගයේදී මෙවැනි සිදුවීම් මීට වසර 5කට පමන එහා තරම් ඇසෙන්නේ නැත. නමුත් අප විමසුල්ලෙන් පසු විය යුතුයි.

අපේ අනාගත පරපුර, අපේ රත්තරන් දරු පැටවුන් රැක ගැනීම ඔබේත්, මගේත්, අප සියල්ලන්ගේත් යුතුකමයි, වගකීමයි. නෛතිකව පවා තහනම් කල මෙම සාපරාධී ක්‍රියාව නීතියේත්, පොලිසියේත්, ඔබේත්, මගේත්, අප සියල්ලන්ගේත් ඇස් වලට වැලි ගසා විටෙක සදෘශ්‍යමානවත්, විටෙක අදෘශ්‍යමානවත්, එදාත් අදත් සිදුවේ. අප මෙම ව්‍යසනය නතර කිරීමට උර නොදේනම් හෙටත් මෙය සිදුවේ.

මා ගීතයකින් මගේ සටහන අවසාන කරමි. මීට විසිපස් වසරකටත් පමන පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතය ගායනා කරන ලද්දේ විජය කුමාරතුංගයන්ය.

පින් මඳ පුතුනේ ඉඳුල් සිඟායන
නුඹේ කඳුළකින් ලොවම දකින්නෙමි
නුඹේ කෙඳිරියෙන් ලොවම අසන්නෙමි

සයින් තබා නුඹ තොල ගානා මධු
ගිනි වතුරක්වී නහර දවාවා
නුඹ නිරුවත් කර පළඳින සළු පිළි 
කටු අකුළක්වී සිරුරෙ ඇනේවා

දෙපයක් පළසේ දෙපයක් පොළොවේ
කිම එක තලයක අප නොසිටින්නේ
ලොව කොතැනකහෝ වරදක්වී ඇත
කිම ඒ නිවැරදි මඟ නොපෙනෙන්නේ
 

No comments:

Post a Comment